Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2021 10:45:45 Hours

නැගෙනහිර භටපිරිස් ජංගම එන්නත්කරණ වැඩසටහන් දියත් කරයි

යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජාතික ජංගම එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සඳුදා (23) දින ජංගම එන්නත්කරණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවිණි.

මෙලෙස ක්‍රියාවට නැංවු ජංගම එන්නත්කරණ වැඩසටහනේදී අම්පාර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නැගෙනහිර පළාතේ ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛත්වයක් මත එන්නත්කරණය සිදුකරන ලදී.

ඒ අනුව හෙද හෙදියන්, වෛද්‍ය සහායකයින් සහ දත්ත ඇතුළත් කිරීමේ පරිඝණක ක්‍රියාකරුවන් සමඟින් එන්නත්කරණ ජංගම රථ මගින් අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරින්ගේ නිර්දේශය මත තෝරාගත් පුද්ගලයින් වෙත එන්නත්කරණය සිදුකරනු ලබයි.

එන්නත්කරණයෙන් පසු යම් පුද්ගලයෙකුට හදිසි ආසාධිත තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර සිදුකිරීමේ අරමුණින් වෛද්‍ය නිලධාරියෙකු සමඟ තවත් ගිලන් රථයක් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සමීපව නිරීක්‍ෂණය කරනු ලබයි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ලබාදුන් උපදෙස් මත ක්‍රියාවට නැංවු මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන 22, 23 හා 24 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින්, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අනෙකුත් අංශ සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සංවිධානය කරන ලදී.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත දිවයිනපුරා ජංගම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන ඉදිරි දින කිහිපය තුල දිවයින පුරාම ක්‍රියාත්මක කරනු ලබන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් සහිත විශේෂ වාහන යොදවා ආබාධිත සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගේ නිවෙස් වෙත ගොස් ප්‍රමුඛත්වයක් මත එන්නත්කරණය සිදුකරනු ලබයි.