Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 14:59:11 Hours

යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහන කන්ද උඩරටට

යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ජාතික ජංගම ඒන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් මධ්‍යම පාළාතේ ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වයෝවෘධ පුරවැසියන්ට පහසුකම් සැලසීම හා ප්‍රමුඛතාවය ලබාදීමේ අරමුණින් තවත් ජංගම ඒන්නත්කරණ වැඩසටහනක් ඉකුත් සදුදා (23) දින මහනුවර යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.

මෙම ජංගම එන්නත්කරණ ව්‍යාපෘතිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධිකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවන ලදී.

ඒ අනුව මධ්‍යම පළාත් එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ජංගම එන්නත්කරන රථ තුනක් සහ ගිලන් රථ දෙකක් යොදවා තිබේ. මෙම සේවා පහසුකම ලබාගැනීම සඳහා අදාළ සහකාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා නිලධාරින්, සෞඛ්‍ය සේවකයින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ලියාපදිංචි වීමෙන් ද පල්ලෙකැලේ 11 වන සේනාංක මූලස්ථාන හා දුරකථන මාර්ගයෙන් ද අවශ්‍ය සම්බන්ධීකරණය කටයුතු සිදුකරගැනීමට හැකියාව ඇත.

ජංගම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට පෙර එම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ නව ජංගම එන්නත්කරණ රථ පරීක්‍ෂා කරමින් එහි වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත්තේය.

ඒ අනුව, වෛද්‍ය නිලධාරින්, හෙදියන්, වෛද්‍ය සහයකයින්, දත්ත ක්‍රියාකරුවන් සහ රියදුරුගෙන් සමන්විත මෙම ජංගම එන්නත්කරණ රථ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ නිර්දේශය පරිදි නියමිත ප්‍රදේශවල ස්ථාන ගත කෙරේ. මෙම ජංගම එන්නත්කරණ වැඩසටහනේ නිරීක්‍ෂණ කටයුතු සඳහා වෛද්‍යවරයෙක් සමඟ ගිලන් රථයක් එන්නත්කරණ ක්‍රියාවලිය පුරාවටම අවශ්‍ය අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.

යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ජංගම එන්නත්කරණ වැඩසටහන් මේ වන විටත් බස්නාහිර පළාත, නැගෙනහිර පළාත සහ යාපනය දිස්ත්‍රීක්කයේ ද අඛණ්ඩව සිදුකරනු ලබයි.