Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 14:00:38 Hours

විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපතිට එම රෙජිමේන්තුවේ ගෞරවාචාර

වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 57 වන මාණ්ඩලික ප්‍රධානි සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2021 ජුලි මස 16 දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.එම්.ආර්.එන්.කේ. ජයමාන්න විසින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

ඉන් අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. පසුව, මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකළේය.  

ඉන් අනතුරුව, විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගැමුණු හේවා බලකාය වෙත සිදුකළ විශිෂ්ඨ සේවය හා කැපවීම වෙනුවෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරින් සහ සෙසු නිලයින් විසින් එතුමන් වෙත සිය හෘදයාංගම කෘතඥතාවය පළකල අතර නිරෝගිමත් හා සමෘද්ධිමත් අනාගතයක් ප්‍රාර්ථනා කළහ.

ඉන් අනතුරුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති රාත්‍රි භෝජන සංග්‍රහයේදී මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ ඉමහත් කැපවීම හා එතුමන්ගේ නායකත්වය වෙනුවෙන් ගැමුණු හේවා බලකායේ නව රෙජිමේන්තු අධිපති සහ ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මේජර් ජෙනරල් සේන වඩුගේ විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.