Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2021 16:35:28 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් කිලිනොච්චියේ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ඉදිකළ තවත් නිවාස දෙකක් විවෘත කෙරේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කිලිනොච්චි, මුක්කම්පන් ප්‍රදේශයේ පදිංචි පවුලකට නව නිවසක් ඉදිකරදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ ඉල්ලීමකට අනුව ඒ සඳහා අනුග්‍රාහකත්වය ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් ලබාදුන්හ.

ප්‍රතිලාභින් සඳහා මෙම නව නිවාස පවරාදීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගී වූවේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකාවේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි පුෂ්ප කුමාර මහතා මෙම අඩු ආදායම්ලාභි පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ප්‍රජාව අතර සුහදත්වය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම නිවාස ව්‍යාපෘතිය දියත් කරනු ලැබූහ. 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් චමින්ද කුමාරගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකළහ.

ඊට අමතරව, එම ඒකකයේ භටපිරිස් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කිලිනොච්චි, මුක්කම්පන් ප්‍රදේශයේ පදිංචි නිවාසලාභී උදයසූරියන් මහතා වෙත නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ද පරිත්‍යාග කරන ලදී.

හින්දු චාරිත්‍රානුකූලව පැවති මෙම නිවස විවෘත කිරීමේ උත්සවය දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා පූනරින් දිස්ත්‍රික් ලේකම්, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 662 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ලියනගේ සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.

මේ අතර, තවත් දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි සම්බන්ධීකරණයෙන් 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිලිනොච්චි, ස්කන්දපුරම් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුලක් වන ජෝෂප් කමලාස් ප්‍රනාන්දු මහතාගේ පවුල වෙනුවෙන් තවත් නව නිවසක් ඉදිකරන ලදී.

මෙම නව නිවස ප්‍රතිලාභින් වෙත පවරාදීමේ උත්සවයද හින්දු චාරිත්‍රානුකූලව පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගී වූවේය. යුද්ධ හමුදාව සහ සිවිල් ප්‍රජාව අතර සුහදත්වය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවිණි.

එම අවස්ථාවේදී, 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සහ අනුග්‍රාහක භවතුන් විසින් නිවසට අවශ්‍ය උපකරණ, වියළි සලාක සහ නැවුම් එළවළු ද එම ප්‍රතිලාභීන් වෙත ලබාදුන්හ. 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක සහ 662 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ලියනගේ ලබාදුන් උපදෙස් මත නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.

මෙම නව නිවාස ප්‍රතිලාභින් වෙත පවරාදීමේ උත්සවයේදී භටපිරිස් අමතමින් මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ මේ සඳහා යුද්ධ හමුදා භටපිරිස් දැක්වු දායකත්වය හා කැපවීම පැසසුමට ලක්කළේය.