Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2021 07:13:53 Hours

නිරෝධායන මධ්‍යස්ථාන 81 ක් තුළ පුද්ගලයින් 5,453 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ

අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,548 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,515 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 336 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 242 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 180 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 757දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (11) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 273,030 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 165,330 වේ.

අද (11) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,804 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (11) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81 ක් තුළ පුද්ගලයින් 5,453 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (11) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 24 ක් තුළින් පුද්ගලයින් 653 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුලි මස (09) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 14 ක් සහ පිරිමි මරණ 19 ක් ඇතුලුව මරණ 33 ක් වාර්තා වී ඇත.

අද (11) දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් බලප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම හුදකලා කර ඇත. එසේම, අද (11) දින උදෑසන සිට කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ පොලිස් බලප්‍රදේශයේ ආරාමය පෙදෙස 66 වත්ත, තලංගම පොලිස් බලප්‍රදේශයේ තලාහේන දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජය මාවත හා ජයගත් මාවත සහ තලාහේන උතුර ග්‍රාම නිලධාරී වසමේ ජයගත් මාවත, සත්සර මාවත, ඉසුරු මාවත, සමනල මාවත හා තැපැල්පෙට්ටිය හන්දිය, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බලප්‍රදේශයේ කහන්ගම කොස්ගලවත්ත හුදකලාභාවයෙන් ඉවත්කර ඇත.