Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2021 18:34:04 Hours

යුද්ධ හමුදා භටපිරිස් මන්නාරමේදි ජාවාරම් කිරීමට සූදානම් කර තිබු කහ තොගයක් අත්අඩංගුවට ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ 7 වන විජයබාහු පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් (08) දින මන්නාරම පෙරියකාඩෙයි වෙරළබඩ ප්‍රදේශයේ සගවා තිබු කහ කිලෝග්‍රෑම් 672 ක් සොයා ගැනීමට සමත් වූහ.

පෙරියකාඩෙයි ප්‍රදේශයට බෝට්ටු තුනකින් රැගෙන ආ කහ තොගය ඩිමෝ බට්ටා ලොරියකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබියදි යුද්ධ හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම කහ තොගයේ වෙළඳපල වටිනාකම රුපියල් මිලියන 4 ක් පමණ වේ.

මෙම වැටලිමේදි සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර අත්අඩංගුවට ගත් වාහනය, බෝට්ටු තුනක් සහ බෝට්ටු එන්ජින් දෙකක් වැඩිදුර පරීක්‍ෂණ සඳහා මන්නාරම පොලිස් ස්ථානයට භාරදී ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් නීතිවිරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර විශේෂයෙන් මන්නාරම දිස්ත්‍රික්කය හරහා ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් මෙරටට ගෙන එන කේරළ ගංජා, කහ සහ අනෙකුත් ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය මෙහෙයුම් දියත් කෙරේ.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාරගේ මඟ පෙන්වීම යටතේ පසුගිය වසරේ ජුනි මාසයේ සිට 54 වන සේනාංකයේ භටපිරිස් කේරළ ගංජා, කහ සහ නීතිවිරෝධී වැලි ප්‍රවාහන කටයුතුවල නියැලි සිටි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. 54 වන සේනාංකයේ භටපිරිස් මන්නාරම දිස්ත්‍රික්කයේ නීති විරෝධි ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නිරන්තරයෙන් මෙහෙයුම් දියත් කරමින් සිටියි.