Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2021 20:48:05 Hours

රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ වීරත්වය ජාතික රණවිරු දිනයේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී සිහිකෙරේ

රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් සහ වීරත්වය සිහිපත් කිරීමේ 12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය පසුගිය බදාදා (19) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි වූ අතර ගරු අග්‍රාමත්‍යතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන්ගේ ආදරණීය ඥාතීන් රැසක් සහභාගි වූහ.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන 12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය පසුගිය බදාදා (19) දින පස්වරු 4.00 ට සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් පසුව ආරම්භ විය.

2009 මැයි මාසයට පෙර එල්ටිටිඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති කුරිරු යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා සිය ජීවිත පූජා කළ යුද්ධ හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1160), ගුවන් හමුදාවේ (443), පොලිසියේ (2598) සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (456) විරෝදාර රණවිරුවන් මෙම රණවිරු සැමරුම් උත්සවයේදී සිහිපත් කළහ. රණවිරු සැමරුම් උත්සවය ආරම්භයේ කර ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.

උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවේ රණ බෙර හඬ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ නිර්භීතභාවය සහ අධිෂ්ඨාන ශක්තිය මැනවින් නිරූපනය කරනු ලැබීය. ශෝකය, වේදනාව සහ සංවේදී බව පිරී තිබුණු මොහොතක ජීවත්ව සිටින අයට තම මතකයන් නැවත සිහිපත් කරමින් අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ දිවිපිදු රණවිරුන්ගේ ඥාතීන් රණවිරු ස්මාරකය අභියසට ගමන් කොට මල්කළඹ තැන්පත් කරමින් විරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කළහ. සියලුදෙනාටම සංවේදී හැඟිම්බර වු මෙම අවස්ථාවේ රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම උදෙසා කැපවූ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ සහ පිබිදීමේ වාදනය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.