Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2021 20:18:01 Hours

කොවිඩ් - 19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සාකච්ඡාවට ප්‍රාදේශිය සෞඛ්‍ය ප්‍රධානීන් එක්වෙයි

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හමුවේ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ තවත් එක් සාකච්ඡාවක් පසුගිය ඉරිදා (09) දින රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඒ සඳහා සහභාගී වූ සියලුම සෞඛ්‍ය බලධාරින් සහ වෛද්‍ය විශේෂඥයින් මෙම තත්ත්වය, යථා තත්ත්වයට පත් කිරීම, වෛරසය සම්ප්‍රේෂණය වන ආකාරය සහ හදිසියේ ගතයුතු ක්‍රියාමාර්ග, PCR පරික්‍ෂණ සිදුකිරීම, දැනට ක්‍රියාත්මක කර ඇති වැළැක්වීමේ ක්‍රියාපටිපාටි, වගකිවයුතු බලධාරින් අතර පවතින සම්බන්ධීකරණය සහ රෝහල් තුළ නව ආසාදිතයින් හඳුනාගැනීම සහ ප්‍රතිකාර ලබන ආසාදිතයින්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන ආදී කරුණු පිළිබඳ සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) සහභාගී වූහ. එමෙන්ම, තවත් වෛද්‍ය විශේෂඥයින් කිහිප දෙනෙකු ද මෙම සාකච්ඡාවට එක්වූහ.  

නව වර්ධනයන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු පිළිබඳ විස්තර කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මරණ අනුපාතිකයේ වර්ධනය සහ සාපේක්‍ෂව දිනකට හමුවන නව ආසාදිතයින් 2000 ක් පමණ වන බැව් පෙන්වා දුන්නේය. තවදුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේ මේ වනවිට රට තුළ ආසාදිතයින් 19,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් අත්‍යවශ්‍ය ප්‍රදේශවල හුදකලා කිරීම් තවදුරටත් සිදුවන බවයි. එමෙන්ම, රජය මේ වනවිට සම්පූර්ණයෙන් රට හුදකලා කිරීමකින් තොරව සියලු පාර්ශවයන් නිසි කළමණාකාරිත්වයක් යටතේ සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකිරීම යන විකල්පය අනුගමනය කරමින් සිටින බවත් එම ප්‍රකාශයේ සඳහන් වූයේය.

එන්නතකරණය පිළිබඳ අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන්, අතිගරු ජනාධිපතිතුමන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එම සංවිධානය වෙතින් අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබාදීමට පොරොන්දු වී ඇති බවත් මේ වනවිට නිර්දේශිත එන්නත් වර්ග තුනක් පවතින බැවින් එන්නත ලබා ගැනීමේ යාන්ත්‍රණයක් නැවත ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ප්‍රකාශ කළේය. මේ වන විට කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වලින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් හමුවන බව පැවසූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආසාදිතයින් ප්‍රතිකාර සඳහා රැගෙන යාමටප්‍රවාහන පහසුකම් බලාපොරොත්තු වේනම් එම කටයුතු සඳහා සහයෝගය දක්වන ලෙස ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් සහ සේනාංකාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදුන්නේය.

වඩා හොඳ සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම සහ මූලික ගැටළු සඳහා විසඳුම් ලබාගැනීම සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සාකච්ඡාව සඳහා Zoom තාක්‍ෂණය ඔස්සේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. ඔවුන් සමඟ සිදුකළ සාකච්ඡාවේදී අදාළ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට සහ ඒ සඳහා විසඳුම් ලබාදීමට ද කටයුතු කළහ. මෙම සාකච්ඡාව සඳහා එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන, පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ වල සංශෝදනයන් සිදුකළ යුතු බවත් නව මාර්ගෝපදේශ නුදුරේදී නිකුත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළේය.