Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2020 17:07:21 Hours

ජාතිය වෙනුවෙන් ආශිර්වාද පතා නිදහස් චතුරස්‍රයේදී දින 21 ක් පුරා පැවති ‘පිරිත් සජ්ඣායනාව’ සාර්ථකව අවසන්විය

දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින වසංගත තත්ත්වයෙන් මවුබිම ආරක්‍ෂා කිරීමේ අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශය, යුද ගුවන් හා නාවික හමුදාවන්හී සහයෝගය ඇතිව දින 21 ක් පුරාවට පැවති ‘පිරිත් සජ්ඣායනා’ පිංකම (09) දින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජා කිරීමෙන් අනතුරුව නිමාවට පත්විය.

පිරිත් සජ්ඣායනාවේ අවසන් දිනයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් (08) දින සන්ධ්‍යාවේ සහභාගී වූ අතර, සම්බුදු පියාණන් උදෙසා ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත්හී නිරත වෙමින් ආශිර්වාද ලබා, ‘මහ පිරිත්’ සජ්ඣායනාව වෙනුවෙන් මහා සංඝරත්නය වෙත ආරාධනා කිරීම එතුමන් විසින් සිදුකරනු ලැබිණී.

තවද මෙම අවස්ථාව සදහා අග්‍රාමාත්‍ය ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ඇතුලු මෙම පුණ්‍ය උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරු LOLC මූල්‍ය සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා සහ එම මැතිණියත් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් ඇතුළු බැතිමතුන් රැසක් ද සහභාගී වූහ.

නොවැම්බර් මස 18 වන දින පැවති මෙම පුණ්‍ය උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපතිතුමන් සහභාගී වූ අතර, එතුමන් විසින් පිරිත් සජ්ඣායනාව ආරම්භ කිරීම සඳහා මහා සංඝරත්නයට ආරාධනා කරනු ලැබිණි.

මෙම පුණ්‍ය උත්සවය ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසකගේ සහයෝගය ඇතිව බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පහල විටියෙල ජනනන්ධාභිධාන හිමිපාණන්ගේ මාර්ගෝපදේශය මත ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සංවිධානය කළ අතර, මෙම උතුම් පිංකම යුද, නාවික හා ගුවන් හමුදා භටපිරිස් විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරිණි.

මෙම පුණ්‍ය උත්සවයේ අවසානය සනිටුහන් කරමින් (09) දින උදෑසන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් මහා සංඝරත්නයේ 75 නමක් උදෙසා ‘හීල් දානය’ පූජා කරනු ලැබිණි. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ගුවන් හමුදාධිපති, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ඇතුලු අනුග්‍රාහක භවතුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් රැසක් සහභාගී වූහ.

දින 21 ක් පුරාවට පැවති පිරිත් සජ්ඣායනාවේදී ආශිර්වාද පිරිත්කළ පැන් බදුන් 100,000 ක් මෙරට තුළ දැඩි ලෙස කොවිඩ් - 19 බලපෑමට ලක් වූ ප්‍රදේශවල සේවයේ නියුතු සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදා භටපිරිස් සහ පොලිස් නිලධාරින් අතර බෙදාහැරීමට බලාපොරොත්තු වේ. මෙම වැඩසටහනට සමගාමීව, දිවයින පුරා විහාරස්ථාන වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේලා 700 නමක් පූජා කිරීමට කටයුතු කරනු ලැබීය. bridgemedia | Sneakers