Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2018 09:54:03 Hours

සිංහ රෙජිමේන්තුවේ ‘වර්ණ රාත්‍රිය’ ඉතා උත්කර්ෂවත් අන්දමින්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන සිංහ රෙජිමේන්තුවේ ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ දී කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

මෙම ‘වර්ණ රාත්‍රියේ’ දී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා ක්‍රීඩකයින් මෙන්ම විශ්‍රාමික ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ සමස්ථ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය ද හමුදා සම්ප්‍රදායානුකුලව පැවැති මෙම වර්ණ රාත්‍රිය සඳහා සහභාගි විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ශ්‍රවණාගාරයේ ප්‍රධාන දොරටුව අභියස දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක තුමන් මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ශ්‍රවණාගාරය තුලට කැටුව යන ලදී.

වැඩසටහන ආරම්භයේ ප්‍රථමයෙන්ම, රට දැය වෙනුවෙන් දිවි පිදු යුද්ධ හමුදා රණවිරුවන් සිහිකරමින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්විය.

සිංහ රෙජිමේන්තුවේ විශීෂ්ඨත්වය හා අන්නෝන්‍ය සබැඳියාව නිරෑපනය කරමින් රෙජිමේන්තු ගීතය ගායනා කරන ලදී. අනතුරුව, සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න විසින් පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සහ සංගීතමය අංගයන්ගෙන් මෙන්ම රෙජිමේන්තුවට ආවේනික වූ ඉදිරිපත් කිරීම්වලින් වර්ණවත් වූ මෙම රාත්‍රියේ දී, යුද්ධ හමුදා මට්ටමින්, ආරක්ෂක සේවා, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක් වූ සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් 112 ක් (සේවයේ නියුතු සහ විශ්‍රාමික) සඳහා වර්ණ ප්‍රදානය කරන ලදි.

මෙම වර්ණ ප්‍රධානෝත්සවයේ දී මේජර් ජෙනරාල් සනත් කරුණාතිලක (විශ්‍රාමික), මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, සිංහ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යුද්ධ හමුදා මට්ටමින්, ආරක්ෂක සේවා, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින්ට වර්ණ ප්‍රදානය කළහ.

පසුගිය වසර කිහිපය තුළ ජාතික හා ජාත්‍යාන්තර මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශීෂ්ඨ දක්ෂතා දැක්වු සිංහ රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් වෙත වර්ණ ප්‍රදානය කිරීම සඳහා සංදර්ශනයේ අවසන් භාගයේ දී ප්‍රධාන ආරධිත අමුත්තාට පීඨිකාවට ආරාධනා කරන ලදි.

මෙම ‘වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන සංවිධායක ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් රජිව වික්‍රමසිංහ විසින් ස්තූතියි කථාව සිදු කල අතර, සංගීත කණ්ඩායමේ දේශාභිමානීය වාදනයන් අවසානයේ ජාතික ගීය ගායනා කරමින් උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

Sportswear Design | Patike