Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2024 20:27:12 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2024 අප්‍රේල් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවාගැනීම වෙනුවෙන් 2009 මැයි මාසයට ප්‍රථම ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේදී , ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස එතුමන් දැක්වූ දායකත්වය සහ අගනා කාර්යභාරය ද මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයින් සමග සුහද කථා බහක නිරත වෙමින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුබපැතුම් එක් කරමින් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකරන ලදී. මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත බැඳුණු මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 32 සාර්ථකව හදාරා දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජනවාරි මස 19 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2023 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඛණ්ඩ භාර නිලධාරී, බුද්ධි නිලධාරී සහ බතරොයි කපිතන්, 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බතරොයි නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරි පුහුණු අංශයේ නිලධාරි උපදේශක, මාණ්ඩලික නිලධාරි 11 (පුහුණු) ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 11 (අතිරේක) විමර්ශන කොට්ඨාශය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන සාමසාධක මෙහෙයුමේ හමුදා නිරීක්‍ෂක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ) සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියාන්විත) ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, 16 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී, පාබල පුහුණු මධ්‍යස්ථානයේ විශේෂ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාවේ ප්‍රධාන උපදේශක, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාන්ඩලික විද්‍යාලයීය පුහුණු උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි අධ්‍යන අංශයේ ප්‍රධාන උපදේශක, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, 241 පාබල බලසේනාවේ කාර්ය නියුක්ත බලසේනාධිපති, රණවිරු සෙවණ සුවතා නිකේතනයේ නියෝජ්‍ය සේනාවිධායක, කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ) නිලධාරී සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් වෙත 'රණශූර පදක්කම' පිරිනමා ඇත.

එතුමන් සිය හමුදා දිවිය තුළ කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඒකක බුද්ධි නිලධාරීන්ගේ පාඨමාලාව, ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂවාදී නීතිය පිළිබඳ මූලික නීති උපදේශකවරුන්ගේ පාඨමාලාව, මානව හිමිකම් උපදේශකවරුන්ගේ පුහුණු පාඨමාලාව, ආරක්‍ෂක උපදේශක සංස්කරණ පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ANPTQ 36 මෝටාර් අවි ස්ථානගත කිරීමේ රේඩාර් පාඨමාලාව - ඇමරිකා එක්සත් ජනපදය, නිලධාරීන්ගේ නිරීක්‍ෂණ සහ ඉලක්කපත් හඳුනාගැනීමේ පාඨමාලාව - ඉන්දියාව, උසස් කාල තුවක්කු පාඨමාලාව - ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂක පාඨමාලාව (UNMOC) - බංග්ලාදේශය ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇත.

එතුමන්, කොළඹ විශ්වවිද්‍යාලයේ සාමය සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව වැනි හමුදා නොවන උසස් අධ්‍යාපනික පාඨමාලා රැසක්ද හදාරා ඇත.