Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2024 19:42:58 Hours

15 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම සඳහා පිටත්ව යයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායම 2024 අප්‍රේල් 03 දින සාමසාධක රාජකාරි සඳහා ලෙබනනය බලා පිටත්ව ගියහ.

15 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසුනිලයින් 114 දෙනෙක් ඇතුළුව යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත වූහ. එම කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී සහ දෙවන අණදෙන නිලධාරී ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් එච්.එම්.ඩබ්ලිව්.සී. බණ්ඩාර යූඑස්පී පීඑස්සී කටයුතු කරයි.

ලෙබනනය බලා පිටත්ව ගිය භට කණ්ඩායමට සුබපැතුම් පිරිනැමීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී, යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යන භට කණ්ඩායමේ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිපදෙනෙකු ද ගුවන් තොටුපළ පරිශ්‍රය වෙත පැමිණියහ.

15 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායම ‘නාකුරා’ (Naqoura) ප්‍රදේශයේ පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයට සහ ප්‍රභූ ආරක්‍ෂාව ලබාදීමට නියමිතව ඇත. ප්‍රථම අදියරේදී, 15 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායමේ සාමාජිකයින් 12 දෙනෙකු 2024 මාර්තු මස 09 දින මෙරටින් පිටත්ව ගියහ.