Header

Sri Lanka Army

Defender of the Nation

18th March 2024 19:21:48 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, භටපිරිස් අමතයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (මාර්තු මස 19) වන දින පනාගොඩ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක නිරත විය.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් පරිශ්‍රයේදී භටපිරිස් අමතමින් වත්මන් සමාජ ගැටළු පිළිබඳව අවධාරණය කල අතර, එහිදී යුද්ධ හමුදාවේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කරමින්, පොලිසිය සහ අනෙකුත් ආරක්‍ෂක අංශ සමඟින් සහයෝගයෙන් යුතුව රාජකාරි සිදුකිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ආරක්‍ෂක කටයුතු, සිවිල් - හමුදා සහයෝගීතාව, තීරණ ගැනීමේ ක්‍රියාවලින්, ප්‍රායෝගික ප්‍රවේශයන්, ආපදා කළමණාකරණය , සිවිල් ජනතාව සමඟ අනොන්‍ය සුහදතාවය පවත්වා ගැනීම සහ යුද්ධ හමුදාවේ ගෞරවය හා විනය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් එහිදී එතුමන් වැඩිදුරටත් අදහස් දැක්වීය.

කොළඹ ප්‍රදේශය සහ බස්නාහිර පළාත තුළ භටපිරිස් විසින් කැපවීමෙන් යුතුව ආදර්ශවත්ව සිදුකරනු ලබන රාජකාරීන් සහ අභියෝගාත්මක අවස්ථාවන්හිදී සිවිල් ජනතාව සමඟින් කටයුතු කරමින් සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය ද එහිදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇගයීමට ලක් කළේය.

සංචාරය අවසානයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ සංචාරය සහ ලබාදුන් උපදෙස් අගය කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.