Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2024 17:34:21 Hours

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, භටපිරිස් අමතයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය සෙනසුරාදා (මාර්තු මස 09) දින ගුවන් හමුදා ‘Tattoo’ සංදර්ශනය නැරඹීමට හමුදා පලාලි ගුවන් තොටුපල වෙත සිදුකරනු ලැබූ නිල සංචාරය අතරතුරදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, භටපිරිස් ඇමතීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් යුද්ධ හමුදා භටපිරිස්හි අභිවෘද්ධිය සඳහා ගෙන ඇති කාලෝචිත තීරණ සම්බන්ධයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ඇගයීමට ලක්කරන ලදී.

එතුමන් භටපිරිස් අමතමින් ඔවුන්ගේ සේවය අගය කළ අතර, රජය විසින් ලබාදෙන සුබසාධන පහසුකම් පිළිබඳව සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වෘත්තීය ප්‍රගතිය සඳහා ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද අදහස් දැක්වීය.

භටපිරිස් ඇමතීමෙන් පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් පිටත්ව යාමට පෙර එතුමන් එම මූලස්ථාන පරිශ්‍රයේ සියඹලා පැලයක් රෝපණය කර අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සමරු සටහනක් ද තැබීය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ‘ගුවන් හමුදා Tatto සංදර්ශනය’ නැරඹීම සඳහා සහභාගී වීමෙන් අනතුරුව, හින්දු බැතිමතුන් සඳහා ඉදිරියේදී වන්දනා මාන කිරීම සඳහා ලබාදීමට නියමිත පලාලි යුද්ධ හමුදා කඳවුරු ‘අධි ආරක්‍ෂිත කලාපයේ’ පිහිටි හින්දු කෝවිල් හතක් නැරඹීමේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා ද එක් විය.

එදින සන්ධ්‍යාවේ එතුමන් 51 පාබල සේනාංකයේ පිහිටි ‘CIMIC’ උද්‍යානය වෙත ගොස් එහි කටයුතු නිරීක්‍ෂණය කල අතර, එහිදී එතුමන් විවිධ ක්‍රීඩාවන් සඳහා සහභාගි වූ ළමුන් වෙනුවෙන් තෑගි පාර්සල් බෙදා දෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ.

එම අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.