Header

Sri Lanka Army

Defender of the Nation

07th March 2024 18:41:19 Hours

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවෙකුට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පරිත්‍යාගයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයු ගේ ආරාධනයකට අනුව මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් 10 ගජබා රෙජිමේන්තුවේ සැරයන් ආර්.ඒ. රාජපක්‍ෂ (විශ්‍රාමික) බ්‍රහස්පතින්දා (මාර්තු මස 07) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සැරයන් ආර්.ඒ. රාජපක්‍ෂ (විශ්‍රාමික) වෙත රෝද පුටුවක්, කිහිලිකරු යුගලක්, කෘතීම අත් පා ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කරනු ලැබීය. රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් පාලනය වන කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා කෘතිම හා විකලාංග වැඩපළේදී මෙම භාණ්ඩ නිෂ්පාදනය කරනු ලැබීය.

සැරයන් ආර්.ඒ. රාජපක්‍ෂ (විශ්‍රාමික) ජාතිය වෙනුවෙන් සිදුකරනු ලැබූ උත්තරීතර සේවය පැසසුමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය. තම සොල්දාදුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකරන කැපකිරීම මෙයින් මනාව පිළිබිඹු වේ.

මෙම අවස්ථාව සඳහා රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී සහ බළලත් නිලධාරි I ඩබ්ලිව්.ඒ.කේ.පී.කේ. විතානගේ යූඑස්පී, සැරයන් ආර්.ඒ. රාජපක්‍ෂ (විශ්‍රාමික) ගේ කෘතීම හා විකලාංග විශේෂඥ වෛද්‍යවරුන් ද සහභාගී වූහ.

සැරයන් ආර්.ඒ. රාජපක්‍ෂ (විශ්‍රාමික) 1993 සැප්තැම්බර් මස 14 දින යුද්ධ හමුදාවට බැඳීමෙන් අනතුරුව 1995 දෙසැම්බර් මස 01 දින ක්‍රියාත්මක වූ රිවිරැස I මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්විය. ඔහු 2010 පෙබරවාරි මස 16 දින යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගොස් මේ වනවිට කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිව සිටියි.