Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2024 16:32:54 Hours

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරීතුමන් කොරියානු සාම සාධක බලඇණියේ නිල සංචාරයක

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී, දෙවන අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.එස්.එස් ප්‍රනාන්දු යූඑස්පී, නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිප දෙනෙකු පසුගිය බදාදා (පෙබරවාරි මස 28) දින ලෙබනනයේ ‘තියර්’ (Tyre) හි පිහිටි කොරියානු සාම සාධක බලඇණිය (ROKBATT) UNP 2-5, වෙත නිල සංචාරයක නිරත වූහ.

සංචාරය අතරතුර, කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී සහ අභිනවයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ කොරියානු සාම සාධක බලඇණියේ අණදෙන නිලධාරී කර්නල් වන්සිඔක් සිඕ (Colonel Wanseok Seo) ලෙබනනයේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය සහ කාර්යන් පිළිබඳව සාකච්ඡාවක නිරත වූ අතර, ප්‍රදේශයේ හමුදා - සිවිල් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කොරියානු සාම සාධක බලඇණියේ වගකීම් සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක භටපිරිස් විසින් සිදු කරනු ලබන රාජකාරි පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී. සුහඳ හමුව අවසානයේදී අණදෙන නිලධාරීන් අතර, සංකේතාත්මකය සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.