දිට්වා ව්‍යසනය අතරතුර සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම්
28th November 2025
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ආරක්‍ෂිත සහ සහන සේවා විධිමත් කිරීම සඳහා, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි 2025 නොවැම්බර් මස 27 දින විශේෂ ආපදා මෙහෙයුම් සහ අධීක්‍ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG මගපෙන්වීම යටතේ ආපදා ප්‍රතිචාර දැක්වීමේ සහ මානුෂීය ආධාර මෙහෙයුම්වල ඵලදායී සම්බන්ධීකරණය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලදී. මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ RSP USP ndc psc, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්ධු එදිරිසිංහ WWV RWP RSP and Three Bars USP fndu (China) psc qhi, ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජිතයින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත වන අතර, එහිදී ඔවුන් ආපදා සහන කටයුතු, සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව නිරීක්‍ෂණය කිරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අධීක්‍ෂණය කිරීමෙහි කටයුතු වල නිරත වෙයි.
සන්නිවේදන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, 2025 නොවැම්බර් මස 29 දින යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. ගමගේ RSP USP ගේ අධීක්‍ෂණය යටතේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. එම විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින් ආපදා සහන සේවා සහ ජීවිතාරක්‍ෂක මෙහෙයුම් සම්බන්ධයෙන් නිවැරදි හා කාලෝචිත තොරතුරු පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කරනු ලබයි.
16 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කණ්ඩායමක් අත්‍යවශ්‍ය වෛද්‍ය සේවා පවත්වාගෙන යාමට රෝහල වෙත යොදවන ලදී. එහිදී, භටපිරිස් විසින් බාහිර රෝගී අංශයට තවදුරටත් ගංවතුර ඒම වැළැක්වීම සඳහා වැලි කොට්ට යොදන ලදී. අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද, ගංවතුර ගලා ඒම අඩු කිරීමට සහ රෝහලේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ආරක්‍ෂා කරමින් පීඩාවට පත් ප්‍රජාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය සහාය භටපිරිස් විසින් ලබාදෙනු ලබයි. තවද, යුද්ධ හමුදා භටයින් විසින් කයිලගොඩ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 38 දෙනෙකු බේරාගෙන වැඩිදුර ප්‍රතිකාර සහ සහාය ලබාදීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානයට භාර දෙන ලදී.
අයහපත් කාලගුණය හේතුවෙන් රඹුක්වැල්ල ප්‍රදේශයේ A26 මාර්ගයේ ඇති වූ අවහිරතාවයක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පොලිස් නිලධාරින් සහ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟින් යුද්ධ හමුදා සාමාජිකයන් කඩිනමින් කටයුතු ආරම්භ කළහ.
මේ අතර, ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හොරොව්පොතාන ප්‍රදේශයේ කකුල්බැදිදිගිලිය වැවේ හානියට පත් වූ සොරොව්ව අලුත්වැඩියා කිරීම සඳහා 211 වන පාබල සේනාංකයේ භටපිරිස් ප්‍රාදේශීය බලධාරින් වෙත අවශ්‍ය සහාය කඩිනමින් ලබා දෙනු ලැබීය. එහිදී භටපිරිස් විසින් සොරොව්වේ බැම්ම යථා තත්ත්වයට පත් කර ජලය පිටතට ගලා යාම වලක්වන ලදී.
රට පුරා අයහපත් කාලගුණික තත්ත්වයන් අඛණ්ඩව පැවතුනද, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ 12 වන පාබල සේනාංකයේ භටපිරිස් මොණරාගල දිස්ත්‍රික්කයේ ආපදා සහන මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරයි. එහිදී, 18 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳවිල ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් වූ පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකු බේරා ගෙන ඔවුන් සියලුම දෙනා මැදගම, පිටදෙණිය ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත තාවකාලික සහන සේවා කඳවුර වෙත යොමු කරන ලදී.
එමෙන්ම, අධික වර්ෂාපතනය හේතුවෙන් කුඹුක්කන් ඔය අමුණෙහි අපද්‍රව්‍ය රැස්වීම හේතුවෙන් ජලය ගලායාම අවහිර වීම හේතුවෙන් 121 වන පාබල බලසේනාවේ භටපිරිස් එම අපද්‍රව්‍ය ඉවත් කරන ලදී. ඊට අමතරව, අමුණු බැම්මේ ඛාදනයට ලක් වූ කොටසක් වෙත වැලි කොට්ට යොදා බැම්ම ශක්තිමත් කරන ලදී.
මේ අතර, 121 වන පාබල බලසේනාවේ තවත් භටපිරිස් කණ්ඩායමක් විසින් 3 වන සැතපුම් කණුව අසල කුඹුක්කන් ඔය ඇළ මාර්ගය අවහිර වෙමින් කඩා වැටී තිබූ ගස් ඉවත් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරට අයත් 223 පාබල සේනාංක බලප්‍රදේශයේ ස්ථාපිත 15 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කඩා වැටීමේ අවදානමකට ලක්ව තිබූ ගල්මැටියාව, කුඩුගලමැටියාව වැවෙහි වේල්ල දෙපස වැලි කොට්ට යොදා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව සිදුකරන ලදී.
තවද, 2 වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වනාන්තර ප්‍රදේශයක අතරමංව සිටි සිවිල් වැසියන් (ගොවීන්) හත් දෙනෙකු බේරා ගන්නා ලදී. මීට අමතරව, 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පුල්මුඩෛයි ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ලබා දීමේ කටයුතුවල නිරත වූ අතර, අධික සුළඟ හේතුවෙන් පීඩාවට පත් වූ නාමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ නිවෙස් අවට පිරිසිදු කිරීමට 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සිය සහාය ලබාදෙන ලදී.
29th November 2025
ඇහැලියගොඩ ප්‍රදේශයේ ගංවතුර මට්ටම ඉහළ යාම හේතුවෙන් සිය නිවස තුළ කොටු වී සිටි 11 මාසයක බිළිඳෙකු ඇතුළු සිවිල් වැසියන් 11 දෙනෙකු බේරා ගැනීම සඳහා කාලෝචිත මෙහෙයුමක් දියත් කරන ලදී. ඒ අනුව 11 බලඇණිය ගැමුණු හේවා භට පිරිස් වහා ක්‍රියාත්මක වී එම සියලුම පුද්ගලයින් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගත්හ. ඔවුන්ගේ මෙම කඩිනම් උත්සාහය හේතුවෙන් සිදුවීමට ගිය වැඩිදුර අනතුරු වළක්වා ගැනීමට හැකි විය.
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භට පිරිස් සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කරමින් සිටින අතර, එහිදී 14 පාබල සේනාංකයේ භට පිරිස් විසින් ඇලපාත ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් ඉහළ යන ගංවතුරට හසු වී සිටි සිවිල් වැසියන් සිව්දෙනෙකු බේරා ගැනීමට සමත් වූහ.
එමෙන්ම, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ඉදිරිපිට ග්‍රෙගරි පාර හරහා විශාල ගසක් කඩා වැටීමෙන් ආර්.ජී. සේනානායක මාවතේ සිට බෞද්ධාලෝක මාවත දක්වා වූ ගමනාගමනය ඇණහිට තිබුණි. ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් වහා ක්‍රියාත්මක වී එම ගස ඉවත් කර මාර්ගයේ සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළහ.
රත්නපුර මහ පල්ලිය ප්‍රදේශයේ ගංවතුර මට්ටම ඉහළ යාම හේතුවෙන් කොටු වී සිටි සිවිල් වැසියන් 40 දෙනෙකු බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් එදිනම කඩිනම් සහ සම්බන්ධීකෘත මෙහෙයුමක් දියත් කළහ. මෙම හදිසි අවස්ථාවට වහා ප්‍රතිචාර දක්වමින් 11 බලඇණිය ගැමුණු හේවා බලකාය සෙබළුන් අදාළ ස්ථානයට පැමිණ අවදානමට ලක්ව සිටි සියලුම පුද්ගලයින් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කළහ.
මීට අමතරව, දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පදිංචිකරුවන් බොහෝ පිරිසක් කොටු වී සිටි මිරිගම සහ මදුරුපිටිය ප්‍රදේශවල වැදගත් මුදවා ගැනීමේ මෙහෙයුමක් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිදු කරන ලදී.
තවත් කඩිනම් සහ තීරණාත්මක හදිසි මෙහෙයුමකදී, වැලිහින්ද ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් ඉහළ යන ගංවතුරට හසු වී සිටි සිවිල් වැසියන් 15 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සමත් වූහ. 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මුදවා ගැනීමේ කණ්ඩායම විසින් වැඩිහිටියන් 14 දෙනෙකු සහ එක් දරුවෙකු ආරක්ෂිතව ඉවත් කරන ලදී.
30th November 2025
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අච්චුවේලි, නාවන්තුරේ දකුණ සහ නල්ලූර් යන ප්‍රදේශවල නිවාස මතට ගස් කඩා වැටීමෙන් එම නිවාසවල වහලවලට අර්ධ හානි සිදු විය. 51 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු වන භටපිරිස් වහාම එම ස්ථාන වෙත ගොස් හානියට පත් නිවාස පිරිසිදු කිරීමට සහ කඩා වැටුණු ගස් ඉවත් කිරීමට පියවර ගත්හ.
මෑත දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භට පිරිස් යොදවා තිබේ. ඒ අනුව, 122 වන පාබල බලසේනා බලප්‍රෙද්ශයට අයත් තෙලබුයාය ප්‍රදේශයේ පිහිටි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි දෙකක වහල මතට කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරීම සඳහා 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කළහ.
එමෙන්ම, සෙල්ල කතරගම සිට කතරගම ලක්ෂ්මි දේවාලය දක්වා වූ මාර්ගය ජලයෙන් යටවීම නිසා අවතැන් වූ සිවිල් වැසියන් බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථාන කරා ප්‍රවාහනය කිරීමට එම බලඇණියේම භට පිරිස් පියවර ගත්හ. මේ අතර, හල්මිල්ලෑව 'අත්තික්කා අමුණ' බෝක්කුව අසල මාර්ගය සේදී යාම වැළැක්වීම සඳහා වැලි කොට්ට ඇතිරීමේ කටයුතුවල 12 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් නිරත වූහ.
1st December 2025
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ පවතින භටපිරිස් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ ගංවතුර වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය පියවර ගනු ලැබීය. එහිදී 144 වන පාබල බලසේනාවට අයත් ඒකාබද්ධ කණ්ඩායමක් විසින් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින ස්ථාන ශක්තිමත් කිරීම සඳහා වැලි කොට්ට අතුරා එම පරිශ්‍රය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලදී.
මේ අතර, අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් රැසක් කොටු වී සිටි තිහාරිය, පහළගම, ගම්පහ, බෝමිරිය, මැදවත්ත සහ ගනේවත්ත යන ප්‍රදේශවල 141 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් සාර්ථක මුදාගැනීමේ මෙහෙයුම් දියත් කරන ලදී.
හංවැල්ල සාලාව වත්තේ පිහිටි 'අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ' වැඩසිටි රෝගී භික්ෂූන් වහන්සේලා 28 නමකගේ ජීවිත බේරා ගැනීමට 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් සමත් වූහ. හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් දියත් කළ මෙම මෙහෙයුම මගින් එම භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කරන ලදී.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙලගම සහ ඉලුක්පිටිය ගම්මාන යා කරමින් ඔය හරහා ඉදිකර ඇති පාලම මතට ගසක් කඩා වැටී තිබුණි. 121 පාබල බලසේනා මූලස්ථානයේ කණ්ඩායමක් මැදිහත් වී එම ගස ඉවත් කර පාලම යථා තත්ත්වයට පත් කිරීමට සහය වූහ.
මීට අමතරව, ගංවතුර හේතුවෙන් බස් රථයක් තුළ කොටු වී සිටි සිවිල් වැසියන් පිරිසක් මුදා ගැනීමට 213 පාබල බලසේනාවේ භටපිරිස් කටයුතු කළහ.
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර RWP RSP ndu psc මගපෙන්වීම යටතේ, අයහපත් කාලගුණයෙන් ඇති වූ දැඩි ගංවතුර හේතුවෙන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොටු වී සිටි රැඳවියන් 299 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු මුදා ගන්නා ලදී.
මුදාගත් සියලුම රැඳවියන් සහ කාර්ය මණ්ඩලය තාවකාලික නවාතැන් පහසුකම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා බස් රථ මගින් නව සේනාපුර තෘතීයික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය වෙත ආරක්ෂිතව ප්‍රවාහනය කෙරිණි. 233 වන බලසේනාධිපතිවරයාගේ සහාය ඇතිව, 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 1 වන කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.
මීට අමතරව, ගංවතුරෙන් පීඩාවට පත් රැඳවියන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කිරීමේ මෙහෙයුම සඳහා යුද හමුදාවේ WMZ සන්නද්ධ රථ සහ නාවික හමුදා බෝට්ටු ද යොදා ගන්නා ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ආපදා සහන මෙහෙයුම් රැසක නිරත විය. එහිදී, අඹතලේ පිහිටි හේලීස්) ගබඩාව මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලද එන්නත් කටු 500,000ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ අනෙකුත් වෛද්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් හමුදා භටපිරිස් විසින් තීරණාත්මක සැපයුම් සහයෝගයක් ලබා දෙන ලදී.
තවද, කොටුවිල ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තම නිවාසවල කොටු වී සිටි පවුල් 28කට අයත් පුද්ගලයන් 91 දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමට භටපිරිස් සමත් වූහ. මෙලෙස ඉවත් කරන ලද පිරිස අතර පිරිමි පුද්ගලයන් 34ක්, කාන්තාවන් 31ක් සහ ළමුන් 26 දෙනෙකු සිටියහ.
මීට අමතරව, 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කොට්ටුන්න ප්‍රදේශයේදී කඩිනම් මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කළ අතර, එහිදී ගංවතුරට හසු වූ කාන්තාවන් පස් දෙනෙකු ආරක්ෂිතව ඉවත් කරන ලදී. එම පිරිසට චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු ද ඇතුළත් විය. ජල මට්ටම දිගින් දිගටම ඉහළ යමින් පවතින පසුබිමක, යුද්ධ හමුදාව නියමිත වේලාවට මැදිහත් වීම නිසා මෙම පිරිසගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු විය.
14 පාබල සේනාංකයේ උපදෙස් මත, 14 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොලොන්නාව සහන මධ්‍යස්ථානයක රැඳී සිටින පුද්ගලයන් සඳහා සූදානම් කළ ආහාර පාර්සල් 750ක් බෙදා දෙන ලදී.
මේ අතර, පල්ලේගම මහජන පොළ අසලින් ගලා බසින ගිං ගඟේ ජල ගලායාමට බාධා කරමින් කඩා වැටී තිබූ විශාල නුග ගසක්, 3 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සාර්ථකව ඉවත් කරන ලදී.
මීට අමතරව, 14 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව භටපිරිස් විසින් ජා-ඇල සහ ඒකල ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ තීරණාත්මක සහන මෙහෙයුමකදී ජා-ඇල පොලිසිය වෙත සිය සහයෝගය ලබා දෙන ලදී. එහිදී භික්ෂූන් වහන්සේලා දෙනමක් ඇතුළුව සිවිල් වැසියන් 61 දෙනෙකු ගංවතුරෙන් පීඩාවට පත් ස්ථානවලින් ආරක්ෂිතව ඉවත් කර ගන්නා ලදී.
එමෙන්ම, 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කළුකොඩයාව ප්‍රදේශයේ මහා පරිමාණ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. එහිදී අධික ගංවතුර හේතුවෙන් කොටු වී සිටි පුද්ගලයන් 139 දෙනෙකු (පිරිමි 55ක්, කාන්තාවන් 54ක් සහ ළමුන් 30ක්) ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට ඔවුන්ට හැකි විය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් එම ප්‍රදේශය පුරා ආපදා ප්‍රතිචාර දැක්වීමේ මෙහෙයුම්වල නිරත වූහ. එහිදී, කනකරායන්කුලම් වැව් බැම්මේ මධ්‍යම කොටසක ඇති වූ පැලීමක් හේතුවෙන් විශාල වශයෙන් ජලය කාන්දු වෙමින් පැවති අතර, 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව එය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගත්හ. ඔවුන්ගේ මෙම ක්ෂණික මැදිහත් වීම හේතුවෙන් වැව් බැම්මට සිදුවීමට ගිය වැඩිදුර හානිය වළක්වා ගැනීමට හැකි විය.
අධික වර්ෂාව හේතුවෙන් කුරිසුඩ් හි කුලාම් වැව් බැම්මේ අඩි 25ක පමණ කොටසකට හානි සිදු විය. එම හානිය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා 12 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් වහාම ක්‍රියාත්මක වී එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළහ.
එලෙසම, පවතින තද වැසි හේතුවෙන් පුලවනාර් කුලම් වැව් බැම්මේ කොටසකට ද හානි සිදු වූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් 12 (ස්වේච්ඡා) බලඇණියෙ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම බැම්ම පිළිසකර කිරීමේ හදිසි මෙහෙයුමක් දියත් කරන ලදී.
මීට අමතරව, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ පාලිනගර් ප්‍රදේශයේ පිහිටි තුවාරන්කුලම් වැව් බැම්මට සිදුවූ අර්ධ හානි පිළිසකර කිරීම සඳහා 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය අත්‍යවශ්‍ය දායකත්වය ලබා දුන්හ.
2nd December 2025
අධික වර්ෂාව හේතුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයට අයත් පොළොන්නරුව පොදු ක්‍රීඩාංගණය, නෙළුම්වැව සහ ගාල්ලැල්ල යන ප්‍රදේශවල දරුණු ගංවතුර තත්ත්වයට මැදිව සිටි ගර්භණී මාතාවන් ඇතුළු සිවිල් වැසියන් 565 දෙනෙකු පමණ මුදා ගැනීමට කටයුතු කෙරිණි. මීට අමතරව, අවතැන් කඳවුරුවල රැඳී සිටින 3,000කට ආසන්න සිවිල් වැසියන්ට සහන සැලසීම සඳහා 7 ඉංජිනේරු භටපිරිස් භටපිරිස් යොදවා ඇත.
එසේම, 23 පාබල සේනාංක බලප්‍රදේශය තුළ අධික වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයන් හමුවේ ක්‍රියාත්මක කෙරෙන සහන සේවා සඳහා 7 රෙජිමේන්තුවේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව භටපිරිස් ද සක්‍රීයව දායක වූහ. තවද, 12 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් යොදවන ලද භටපිරිස් ද දැනට සිදුවෙමින් පවතින සහන ක්‍රියාවලීන් සඳහා විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිති.
පවතින අධික ගංවතුර තත්ත්වය හමුවේ ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි අයත් භටපිරිස් විසින් චිරාදිකුලම් ප්‍රදේශයේ අඛණ්ඩ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම මෙහෙයුම 10 බලඇණය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව, විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් 69 දෙනෙකු රැගත් මගී බස් රථයක් කලා ඔය පාලම අසලදී සැඩ ගංවතුරට හසුව ගසාගෙන යාමෙන් සිදු වූ බරපතල අනතුරෙන් පසු, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව එක්ව මහා පරිමාණ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 3 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රන්හෙලගම, එල්ලකෝටලිය, සල්පිටිගම සහ විජයපුර යන ගම්මානවල ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටු වී සිටි ප්‍රදේශවාසීන් පිරිසක් මුදා ගන්නා ලදී. මීට අමතරව, අධික වර්ෂාව සහ ඉන් පසුව ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සැලසීම සඳහා 15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ද සිය දායකත්වය ලබා දෙන ලදී.
දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා හදිසි ආරක්ෂිත මධ්‍යස්ථාන ආවරණය වන පරිදි, ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා ආහාර පිසීම සහ ඒවා බෙදා හැරීමේ කටයුතුවල ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සක්‍රීයව නිරතව සිටිති.
පහළ හංවැල්ලේ රාජසිංහ විද්‍යාලයේදී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ කටයුත්තට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc සහභාගී විය. මීට අමතරව, දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, 1 බලකාය යටතේ පවතින 53 පාබල සේනාංකයේ භටපිරිස් විසින් දඹුල්ල රෝහලට සහ ඒ අවට ප්‍රදේශවලට ඇණහිට තිබූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා තීරණාත්මක මෙහෙයුමක් දියත් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ පවතින බලඇණිවල භටපිරිස් විසින් අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර සැපයීමේ කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරන ලදී. ඒ අනුව, 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වැලිකන්ද 10 වන සැතපුම් කණුව අසල කැඩී ගිය පාලමකින් එතෙර වීමට සිවිල් වැසියන්ට සහය වූ අතර, එසේම, අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට ද ඔවුන් දායක විය.
ගංවතුර හේතුවෙන් මාර්ග ප්‍රවේශය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ KN/68 කවුතරමුනෙයි ප්‍රදේශයට රජයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහනාධාර ප්‍රවාහනය කිරීමට 552 පාබල බලසේනාවේ සහ 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කටයුතු කළහ. මේ අතර, 11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සහ 523 වන පාබල බලසේනාවේ සෙබළුන් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පීඩාවට පත් ජනතාවට දිවා ආහාර පාර්සල් 350ක් බෙදා දෙන ලදී.
මීට අමතරව, පෙරපාසලක වහලයට කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීමට 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පියවර ගත් අතර, 7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව වැලි කොට්ට යොදා පුදුඅයියන්කුලම් වැව් බැම්ම හදිසි ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළහ.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ පවතින බලඇණි විසින් විවිධ සහන මෙහෙයුම් රැසක් දියත් කරන ලදී. එහිදී, 5 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කන්තලේ, සූරියපුර ගම්මානයේ ගංවතුරට හසුව සිටි ගොවීන් පිරිසක් මුදාගෙන ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කළහ.
මේ අතර, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට කඩා වැටී තිබූ ගසක් ඉවත් කර, එම ගොඩනැගිල්ලට සිදුවීමට ගිය තවත් හානි වළක්වා ගැනීමට පියවර ගත්හ. එසේම, පුලිපංචිකල් - කිරාන් මාර්ගයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහය වීමට 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කළ අතර, එම ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට ද ඔවුන් සහය වූහ.
මීට අමතරව, රකුලි ගම්මානයේ මහවැලි ගඟේ දෙපස කොටු වී සිටි පවුල් 94කට අයත් සිවිල් වැසියන් 184 දෙනෙකු 15 වන රෙජිමේන්තුවේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මුදාගෙන නහර් බාලිකා විද්‍යාලයේ අවතැන් වූවන්ගේ මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.
අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වූ කන්දකාඩු නැවෝදාව පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 299 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 60කට අධික පිරිසක්, 9 වන රෙජිමේන්තුවේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ආරක්ෂිතව සීනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත මාරු කරන ලදී. මෙම මෙහෙයුම සඳහා 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'කාශ්‍යප' කඳවුර සහය ද හිමි විය.
අඛණ්ඩව පවතින අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් වූ පොතුවිල් – උල්ලා පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට සහය වීමට 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පියවර ගත්හ.
මේ අතර, අධික වර්ෂාපතනය හේතුවෙන් අඩි 4 සිට 8 දක්වා ප්‍රමාණයකින් වාන් දැමීමට පටන් ගත් කුරිසුද්දකුලම් වැව් බැම්ම තාවකාලිකව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය -වන්නි යටතේ ස්ථාපිත 8 වන බලඇණිය ගැමුණු හේවා බලකාය භටපිරිස් අවශ්‍ය සහය ලබා දෙන ලදී.
මේ අතර, සිතුමිනියගාර්කුලම් ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිවිල් වැසියන් කිහිප දෙනෙකු කොටු වී සිටියහ. ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ 541 වන පාබල බලසේනාවේ භටපිරිස් නාවික හමුදා නිලධාරීන් හා එක්ව සිවිල් වැසියන් 27 දෙනෙකු සාර්ථකව මුදාගෙන ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත්හ.
එසේම, කැන්දගොල්ල ප්‍රදේශයේ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් දියත් කිරීමටත්, පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමටත් 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් යොදවා ඇත.
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණය වෙමින්, 11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත වන බලඇණිය ගැමුණු හේවා බලකාය භටපිරිස් නායයෑමක් හේතුවෙන් අක්‍රීය වී තිබූ අඹගස්දෝව ජල පිරිපහදු මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී. මීට අමතරව, කුමාරසිංහ මාවත ජල ටැංකිය ද පිරිසිදු කිරීමට භටපිරිස් කටයුතු කළ අතර, එමගින් ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත ජල සැපයුම යළි ලබා දීම තහවුරු කෙරිණි.
හපුතලේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ආපදා සහන කණ්ඩායම් විසින් දියතලාව Christ the King Church රැඳී තිබූ පස් සහ සුන්බුන් ඉවත් කිරීමට සහය ලබා දෙන ලදී. රෝහලේ පිටුපස තාප්පය කඩා වැටීම හේතුවෙන් මෙම දේවස්ථානයට හානි සිදු වී තිබුණි.
223 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් යුනිබෆල් රථයක් භාවිතා කර නීලපොල ගම්මානයේ සිටි සිවිල් වැසියන් 10 දෙනෙකු සෝමපුර දක්වා ආරක්ෂිතව ප්‍රවාහනය කරන ලදී. මේ අතර, අල් අම්රා මුස්ලිම් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති අවතැන් වූවන්ගේ මධ්‍යස්ථානය මගින් පවුල් 50ක් සඳහා නවාතැන් පහසුකම් සපයා ඇත.
එසේම, 232 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මුරුතන් ගම්මානයේ පවුල් 200ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදී. තවද, පවතින දීර්ඝ විදුලි බිඳවැටීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා 241 පාබල බලසේනාව විසින් සිය මූලස්ථානය අසල පැය 24 පුරා ක්‍රියාත්මක පොදු ජංගම දුරකථන ආරෝපණය කිරීමේ මධ්‍යස්ථානයක් ද ස්ථාපනය කරන ලදී.
එම අවස්ථාවේදීම, 24 පාබල සේනාංකයේ සහ 243 පාබල බලසේනාවේ භටපිරිස්වල දායකත්වය ඇතිව කාත්තන්කුඩි ප්‍රජාව විසින් රුපියල් 2,500,000ක් පමණ වටිනා වියළි සලාක පාර්සල් 500ක් එකතු කරන ලදී. මේවා මුතූර් ප්‍රදේශයේ ආරක්ෂිත මධ්‍යස්ථානවල සිටින පවුල් සහ මාවිල්ආරු ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව අතර බෙදා හැරීම සඳහා භාර දෙන ලද අතර, ඒ සඳහා වාකරේ පිහිටි 233 පාබල බලසේනාවේ සහය හිමි විය.
තවද, 59 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි සාන්ත පීතර දේවස්ථානය සහ ජුම්මා පල්ලිය යන අවතැන් වූවන්ගේ මධ්‍යස්ථාන දෙක සඳහා වියළි සලාක ලබා දෙන ලදී. මීට අමතරව, මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් සහ පවුල්වල සාමාජිකයන් 260 දෙනෙකු, 54 වන පාබල සේනාංකය යටතේ පවතින 10 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකාය ආපදා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම විසින් මුදාගෙන මන්නාරමේ පිහිටි අවතැන් වූවන්ගේ මධ්‍යස්ථානයක් වෙත මාරු කරන ලදී.
මදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලට අනුයුක්ත 53 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මහියංගණය – බදුල්ල මාර්ගයේ කිලෝමීටර් 15ක කොටසක් සාර්ථකව පිරිසිදු කර විවෘත කරන ලදී. ඒ හරහා එම ප්‍රධාන නගර දෙක අතර පවතින අත්‍යවශ්‍ය ප්‍රවාහන සබඳතාව යථා තත්ත්වයට පත් කිරීමට ඔවුන්ට හැකි විය.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් නාගලවැට්ට ප්‍රදේශයේ කොටු වී සිටි වැඩිහිටියන් 33 දෙනෙකු බේරා ගන්නා ලදී. මේ අතර, 11 වන පාබල සේනාංකය යටතේ පවතින 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කටුගස්තොට සහ දංගොල්ල ජල පිරිපහදු මධ්‍යස්ථානවල පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී.
මීට අමතරව, 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් 2025 නොවැම්බර් 30 වන දින මහනුවර සිට බදුල්ල දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 2ක කොටසක් පිරිසිදු කර යථා තත්ත්වයට පත් කරන ලදී. එමෙන්ම, යාපනය දිස්ත්‍රික්කයේ චුල්ලිපුරම් වික්ටෝරියා විද්‍යාලයට අධික වර්ෂාව සහ තද සුළඟ හේතුවෙන් සිදුවූ හානි පිළිසකර කිරීමට 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කටයුතු කළහ.
21 වන පාබල සේනාංකය යටතේ පවතින 2 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්, අතිපිලව් ප්‍රදේශයේ පිහිටි පෙරියකුලම් වැව් බැම්මට සිදුව තිබූ අර්ධ හානි පිළිසකර කිරීමට සහය වූහ. මීට අමතරව, 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් ආපදාවට පත් ප්‍රදේශවලට පානීය ජලය සැපයීමට කටයුතු කළහ.
මේ අතර, පවතින විදුලි බිඳවැටීම හමුවේ 9 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිරිඉබ්බන්වැව ග්‍රාමීය රෝහලේ ජල පොම්පය සහ විදුලි ජනකය ක්‍රියාත්මක කරවමින් රෝහල් කටයුතු පවත්වාගෙන යාමට සහය වූහ. එමෙන්ම, අධික වර්ෂාවෙන් හානියට පත් නෙලුම්වැව සිට සිංහපුර දක්වා දිවෙන මාර්ගයේ දෙපස ප්‍රතිසංස්කරණය කිරීමට ද ඔවුන් පියවර ගත්හ.
3rd December 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ගේ අධීක්‍ෂණය යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් විසින් ඇඹුල්ගම, රජමහා විහාරස්ථානයේ සහ පනාගොඩ, කපුරුගොඩ ස්ථාපිත අවතැන් කඳවුර වල රැදී සිටින පුද්ගලයින් වෙත පිසූ ආහාර පාර්සල්, වියළි ආහාර සලාක සහ පානීය ජල බෝතල් බෙදා දෙනු ලැබූහ.
එසේම, දින 223 පාබල බලසේනාවේ භටපිරිස් විසින් යුනිබෆල් රථයක් භාවිතා කරමින් නීලපොළ ගම්මානයේ සිට සෝමපුර දක්වා සිවිල් වැසියන් ඉවත් කරන ලද අතර, කොට්ටියාරාමයේ (ගල් කන්ද පන්සල) අවතැන්ව රැඳී සිටි පුද්ගලයින් 400 දෙනෙකු වෙත රාජ්‍ය නිලධාරින් සමඟ සම්බන්ධිකරණයෙන් පිසූ ආහාර, වියළි ආහාර සලාක සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදී.
12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් තිහිලිවෙඩෙයි, පුලිපන්චිකල් සහ කුලවාඩි යන ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 300 ක් සඳහා වියළි ආහාර සලාක මලු බෙදා දුන් අතර, 3 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුදවා ගත් පිරිස් ද ඇතුළුව ගංවතුරෙන් පීඩාවට පත් සේරපිටිය, විජයපුර, වබෙදගම සහ සල්පිටිගම යන ප්‍රදේශ වල ස්ථාපිත සහන සේවා කඳවුරුවල සිටින අවතැන් වූ පුද්ගලයින් 1,655 දෙනෙකු වෙත (පවුල් 472) අත්‍යවශ්‍ය ආධාර අඛණ්ඩව සපයනු ලබයි. මීට අමතරව, 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ගල්ලෑල්ල ප්‍රදේශයේ තාවකාලික අවතැන් වූ කඳවුරුවල පුද්ගලයින් 300 දෙනෙකු වෙත ආහාර ලබා දෙන ලදී.
54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පූමලන්තන් ප්‍රදේශයේ පවුල් 33ක් (පුද්ගලයන් 127ක්) ඉවත් කර කට්ටියාඩප්පන් පාසලේ ස්ථාපිත අවතැන් වූවන්ගේ රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී. ඊට අමතරව, 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නායාරු පාලමෙහි තාවකාලික අලුත්වැඩියාවන් සිදුකරන ලද අතර, එමඟින් ප්‍රදේශයේ පා ගමනින් ගමන් කරන සිවිල් ජනතාවට ආරක්‍ෂිත ගමන් කිරීමට හැකි විය. 141 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් ගම්පහ සහ ජා-ඇල ප්‍රදේශවල ඇති වූ දරුණු ගංවතුරෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට ආහාර පාර්සල් 3,500 ක ප්‍රමාණයක්, පානීය ජල බෝතල් 3,000 ක් සහ අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය බෙදා දෙන ලදී. තවද, 144 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදුන් වියළි ආහාර සලාක සහන සේවා මධ්‍යස්ථාන තුනක රැදී සිටින පීඩාවට පත් ජනතාව වෙත බෙදා දෙන ලදී. 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලද ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකල අතර, එහිදී අරණායක, නාරංගල ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයින් සිව් දෙනෙකු ආරක්ෂිතව ඉවත් කර කඩිනමින් ගුවන් මගින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද අතර, 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පීඩාවට පත් තවත් 15 දෙනෙකු බේරා ගන්නා ලදී.
3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් කතරගම ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. තවද, බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ ආපදා සහන සේවා භටපිරිස් විසින් ජලාශකන්ද ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ මාර්ගයක් නැවත ගමනා ගමනයට සුදුසු වන පරිදි සැකසීමට කටයුතු කරන ලදී.
4 බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් මාර්ග සංවර්ධන අධිකාරියට සහය දක්වමින් යාපනය හන්දියේ සිට කොහොඹගස් හන්දිය දක්වා වූ මාර්ගය අලුත්වැඩියා කරන ලදී. තවද 59 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 14 බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්, ඇතිමුනේ ප්‍රදේශයේ ගංවතුරට හානිවූ ජල නල පද්ධතියක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා යොදවන ලදී. 7 බළඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් කළාවැව වැව් බැම්ම අසල මාර්ගය හරහා ඇද වැටී තිබූ ගසක් ඉවත් කරන ලද අතර, එම මාර්ගය ඔස්සේ ආරක්ෂිත ගමනාගමනය යථා තත්ත්වයට පත් කරමින් ගම්වැසියන්ට සහාය දක්වන ලදී.
58 වන පාබල සේනාංකය යටතේ රාජකාරීන් සිදුකරනු ලබන යුද්ධ හමුදා භටපිරිස් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව, හානියට පත් තබ්බෝව වැව් පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, එසේම බෙරිවිල, ඉගුරුවත්ත තේ කම්හල අසල නායයෑමට ලක් වූ ප්‍රදේශය පිරිසිදු කිරීමට සහාය ලබාදෙන ලදී. මේ අතර, 59 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 10 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් චෙම්මලෛයි සිට නයාරු දක්වා වූ මාර්ගය ප්‍රතිසංස්කරණය කළ අතර, 12 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් 591 වන පාබල බලසේනාවේ සිට වට්ටප්පලෛයි දක්වා වූ මාර්ගය සහ වට්ටප්පලෛයි හන්දියේ සිට වට්ටප්පලෛයි කෝවිල දක්වා වූ මාර්ගය ද ප්‍රතිසංස්කරණයි කළහ.
51 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින අවතැන් වූ සිවිල් වැසියන් බේරා ගැනීම, කඩා වැටුණු ගස් ඉවත් කිරීම සහ 3,000 කට ආසන්න අවතැන් වූ පිරිසකට නවාතැන් පහසුකම් සපයන ආරක්‍ෂක මධ්‍යස්ථාන 28 ක් ස්ථාපනය කිරීම කළ අතර, 55 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් ගංවතුරෙන් පීඩාවට පත් පවුල් බේරා ගැනීම, ඉරණමඩු ජලාශයේ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රධාන මාර්ග පිරිසිදු කිරීම සිදු කළ අතර, 52 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් ආරක්‍ෂක මධ්‍යස්ථාන 12 කට ආහාර ලබා දීම, A9 මාර්ගය පිරිසිදු කිරීම සහ මරදන්කේනි පාලම ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කරන ලදී.
ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් රත්තොට - රිවර්ස්ටන් මාර්ගයේ මැදවත්ත දක්වා වූ කොටස ප්‍රතිසංස්කරණය කිරීමට සහ හපුවිද, උකුවෙල ප්‍රදේශයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සහාය ලබාදෙන ලදී. ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 1 බළඇණිය ගැමුණු හේවා බලකායේ සෙබළුන් විසින් බදුල්ල – හෙළදළුව ජල මාර්ග පිරිසිදු කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් අච්චන්කුලම් හි සිලාවතුරෙයි-නන්තන් මාර්ගයේ අවහිර වූ වැලි ඉවත් කිරීම සිදු කළ අතර, 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හානියට පත් නාවට්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී. ඊට අමතරව, සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන්, 5 (ස්වේච්ඡා) ගැමුණු හේබා බලකාය විසින් කඩා වැටුණු හොරොපාතාන වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.
55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ, 11(ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ, 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 14 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මුතානගර්, පන්නන්කන්ඩි, අනන්තපුරම්, රත්නපුරම් සහ තඩ්ඩුවන්කොඩ්ඩි යන ප්‍රදේශවලට පානීය ජලය බෙදා දුන් අතර ශ්‍රී විග්නේෂ්වර පාසල, ජයපුරම් මහා විද්‍යාලය සහ වලයිපාඩු රෝමානු කතෝලික පාසලට ආහාර සපයන ලදී. තවද, භට පිරිස් විසින් පරන්තන් සිට තඩ්ඩුවන්කොඩ්ඩි දක්වා සිවිල් වැසියන්ට සහය වූ අතර මයිල්වානපුරම් හි ළිඳක් පිරිසිදු කිරීම සහ 52 පාබල සේනාංකය විසින් අල්වායි, තොණ්ඩමන්නාරු, මුහමලේ, එළුදුමඩ්ඩුවාල්-කිලාලි සහ තලයඩි-කඩෙයිකාඩු යන ප්‍රදේශ පිරිසිදු කිරීම, හානියට පත් ප්‍රදේශ පිළිසකර කිරීම, ආහාර පාර්සල් බෙදා හැරීම සහ ආරක්ෂිත රැදවුම් මධ්‍යස්ථාන වෙත පානීය ජලය සැපයීම සිදු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 15 බලඇණය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් භාවිතා කරමින්, ගොඩබෑමේ කලාපයේ සිට මූතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ලදී.
මාර්ග සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව, 22 පාබල සේනාංකයට යටතේ ස්ථාපිත 15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් මුතූර් මාර්ගය ප්‍රතිසංස්කරණය කටයුතු කිරීම සඳහා සහාය වූ අතර, පසුව එය සිවිල් ජනතාවගේ භාවිතයට විවෘත කරන ලදී. තවද, සිරිමංගලපුර කිලෝමීටර් 35 කණුව අසලදී, 9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කාන්තලේ–සේරුවාවිල මාර්ගය ඔස්සේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භට පිරිස් අඛණ්ඩ ආපදා සහන මෙහෙයුම් කිහිපයක් සිදුකරන ලදී. ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 65 කට පානීය ජලය, වියළි සලාක ආහාර පාර්සල් සහ ඇඳුම් බෙදා හැරීම සඳහා 9 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සහය දක්වන ලද අතර, නාවත්කුලම් වැව් බැම්ම 56 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලදී. මේ අතර, ත්‍රිකුණාමලය-පුල්මොඩෙයි (B424) මාර්ගයේ හානියට පත් කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් මාර්ග සංවර්ධන අධිකාරියට සහාය ලබා දුන්හ. තවද, අධික වර්ෂාපතනයෙන් පසු 5 (ස්වේච්ඡා) බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් 15 දෙනෙකු සිප්පියාරු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළහ. 56 පාබල සේනාංකය යටතේ ඇති 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්, ගම්වැසියන් සමඟ එක්ව, පල්ලවිලන්කුලම් වැව් බැම්මට ජල මට්ටම ඉහළ යාමෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා වැලි කොට්ට ඇතිරීම සහ 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිවිල් වැසියන්ගේ සහාය ඇතිව නෙරියකුලම් අමුණ ප්‍රතිසංස්කරණය කරන ලදී.
4th December 2025
හලාවත ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් හලාවත රෝහල ගංවතුරට යට වීම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත් විය. එම අවස්ථාවට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 6 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් රෝගීන් ආරක්ෂිතව කුරුණෑගල සහ මාරවිල රෝහල් වෙත මාරු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් 11 පාබල සේනාංකයට අයත් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නාය යෑම් හේතුවෙන් අවහිර වී තිබූ මුරුතලාව ප්‍රදේශයේ මාර්ග පිරිසිදු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියවෙත සහය දැක්වීමට යොදවන ලදී. තවද, 1 ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භටපිරිස් විසින් කරගස්තැන්න ප්‍රදේශයේ සන්නිවේදන සංඥා කුළුණු වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීම සිදු කරනු ලබන අතර, එම ඉන්දන ප්‍රවාහන කටයුතු සඳහා ගඟක් හරහා තාවකාලික ක්ෂේත්‍ර පාලමක් ද ඔවුන් විසින් ඉදිකරන ලදී. එසේම 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නායයෑම් හේතුවෙන් අවතැන් වූ දෙල්තොට ප්‍රදේශයේ පුද්ගලයන් 27 දෙනෙකු සාර්ථකව බේරා ගන්නා ලදී.
3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මැටිබමිය –මන්දාරම්නුවර මාර්ගය ඔස්සේ පිරිසිදු කිරීමේ මෙහෙයුමක් සිදු කරන ලදී. 11 පාබල සේනාංකයේ 2 ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 03 දින මිණිපේ අමුණ පිරිසිදු කිරීම සිදුකරන ලදී. තවද, බෝවතැන්න ජල විදුලි බලාගාරය නැවත බලගැන්වීම සඳහා 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් යාන්ත්‍රික පද්ධති සහ උපකරණ ප්‍රතිසංස්කරණය කිරීමට සහයෝගය ලබාදෙන ලදී.
55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වැලිකන්ද, 10 වන සැතපුම් කණුව අසල හානියට පත් පාලම මත තාවකාලික ආරක්‍ෂිත අඩිපාරක් ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට සහයෝගය ලබාදෙන ලදී.
අධික වර්ෂාපතනය හේතුවෙන් හානි වූ පම්පමඩු හි චෙක්කඩිප්ල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 56 පාබල සේනාංකයට අයත් 17 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සහයෝගය ලබා දුන් අතර, තවද හානියට පත්වූ හොරොපාතාන වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිවිල් ජනතාවට සහයෝගය ලබාදෙන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 1 බලඇණිය ගැමුණු හේවා බළකායේ භට පිරිස් හංවැල්ල ප්‍රදේශයේ බදුල්ල ජල සම්පාදන මණ්ඩලය පිරිසිදු කළ අතර, දියතලාව, දොඩම්වත්ත ප්‍රදේශයේ නායයෑමකින් පසු නිවසක් මතට කඩා වැටුණු පස් කන්දක් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ භට පිරිස් විසින් ඉවත් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ඉංජිනේරු බලසේනාව විසින් අනුරාධපුර යුද්ධ හමුදා රෝහලේ රැස්වී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යන්ත්‍රෝපකරණ පහසුකම් සපයන ලදී. ඒ අතරම, 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පීඩාවට පත් ජනතාව සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහය ලබා දුන්හ. මහනුවර යුද්ධ හමුදා මූලික රෝහල මේ වන විට අවතැන් වූ සිවිල් වැසියන්හට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතුවල නිරතව සිටියි.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 111 පාබල බලසේනාව සහ යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා කණ්ඩායම් විසින් මේවන විට බබරබැද්ද බටහිර, බබරබැද්ද නැගෙනහිර සහ දේවින්දගම යන ප්‍රදේශවල නායයෑමෙන් විපතට පත් සිවිල් වැසියන් 800 ක් පමණ පිරිසක් මුදවා ගන්නා ලදී.
5th December 2025
4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් අඩවල ප්‍රදේශයේ පාලම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට සහාය වූ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානි වූ වික්ටෝරියා වේල්ලේ සිට මොරගහමුල දක්වා දිවෙන මාර්ගය එළිපෙහෙලි කිරීම සහ කැප්පෙටිපොල – රෙන්දාපොල මාර්ගය අලුත්වැඩියා කිරීමද මෙම භට පිරිස් විසින් සිදු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 221 පාබල සේනාංකයේ භට පිරිස් විසින් ගම්වැසියන් සඳහා පානීය ජලය ලීටර් 13,200 ක් බෙදා දෙන ලදී.
6th December 2025
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් තලාගල මංගලාරාම මහා විහාරයේ ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද වියළි සලාක පාර්සල්, දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම ප්‍රදේශයේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව අතර බෙදා දෙන ලදී. .
මීට අමතරව, පුස්සැල්ලාව සිට ෆ්‍රොටොෆ්ට් වත්ත දක්වා ළඟාවීමට අපහසු ප්‍රදේශවල වෙසෙන පවුල් වෙත ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යතුරුපැදි අටක් සහිත සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායම යොදවා ඇත. ඔවුන් කැමිල්තන්හි පවුල් 48ක් සඳහා ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළහ.
යුද්ධ හමුදා රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ කණ්ඩායමක් විශේෂඥ මනෝ වෛද්‍යවරුන්, මනෝවෛද්‍ය උපදේශකයින් සහ අනෙකුත් මානසික සෞඛ්‍ය වෘත්තිකයන් අබතලාව, කටුකිතුල, කොත්මලේ සහ රම්බොඩ යන නායයෑම්වලින් ආපදාවට පත් ප්‍රදේශයන්හි ජනතාවට මානසික සෞඛ්‍ය සේවාවන් සැපයීමේ කටයුතු වල නිරත වූහ.