දිට්වා ව්‍යසනයෙන් පසුව අත්‍යවශ්‍ය සේවාවන් ප්‍රතිස්ථාපනය කිරීම
6th December 2025
2025 දෙසැම්බර් මස 06 දින 11 පාබල සේනාංකයට අයත් 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අබගස්දෝව සහ සිල්මියාපුර ජල පවිත්‍රකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් යොදවන ලදී.
බුජ්ජෝමුව සහ යත්තල්ගොඩ දුම්රිය ස්ථාන අතර, කිලෝමීටර් 58 කණුව අසල සිට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි යත්තල්ගොඩ ප්‍රදේශයේදී නායයෑමක් හේතුවෙන් පොල්ගහවෙල –අඹේපුස්ස දුම්රිය මාර්ගයේ කොටසකට හානි සිදු විය. 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් හි ශ්‍රම දායක්වයෙන් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කරමින් පවතී.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු කැබිතිගොල්ලෑව - ඇල්ලෙවැව වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 5 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සහාය ඇතිව සිදු කරන ලදී.
මීට අමතරව, 7 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භට පිරිස් විසින් පලුගස්වැව ප්‍රදේශයේ අපදාවට ලක්ව තිබූ මහ මාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණ කටයුතු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බරපතළ හානි සිදුවූ කොළඹ–මඩකලපුව දුම්රිය මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශය අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් දේශ ගොඩනැගීමේ ක්‍රියාදාමය සඳහා සහය වෙමින් බූ ඔය ප්‍රදේශයේ කැඩී ගිය දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම, මහලින්දවැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම, ජලයෙන් යටවීම හේතුවෙන් හානි වූ දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීම, කුරුවිල් සොරොව්ව ආශ්‍රිතව යෝධ වැව් බැම්මේ හානියට පත් සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම සහ කල්කුලම් වැව් බැම්ම අලුත්වැඩියා කිරීම සිදු කරන ලදී.
22 වන පාබල සේනාංකයේ භට පිරිස්වල සහය ඇතිව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නීලපොල ප්‍රදේශයේ මහවැලි ගංගා ඉවුර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු, ආරම්භ කරන ලදී එහි ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදු කරමින් පවතී.
යුද්ධ හමුදා භට පිරිස්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය සමඟ එක්ව පුරාණ ඇලහැර ඇළ ඉස්මත්ත ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු සඳහා අඛණ්ඩව පස්වන දිනටත් සම්බන්ධ වූ අතර ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිමකිරීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහාය සපයනු ලබයි.
9th December 2025
අධික වර්ශාව නිසා සියඹලාගස්වැවේ ජල මට්ටම පිටාර ගැලීම හේතුවෙන් වැව් බැම්මට හානි වූ අතර, 21 පාබල සේනාංකයට යටතේ ස්ථාපිත 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 09 දින වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 7 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් පලුගස්වැව ප්‍රදේශයේ අපදාවට ලක්ව තිබූ මහ මාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කළ අතර, 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නොච්චියාමොඩෙයි ප්‍රදේශයේ සිදුකරනු ලබන දුම්රිය මාර්ග අලුත්වැඩියා කටයුතු වල 60% ක ප්‍රමාණයක් නිම කිරීමට කටයුතු කරන ලදී. මීට අමතරව, ජල මට්ටම ඉහළ යාමෙන් හානි වූ වන්නකුලම් වැව් බැම්ම 8 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරණු ලබයි.
11 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 1 වන බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් කන්දේ ඇල ප්‍රදේශයේ හානියට පත් ඇළ මාර්ග අලුත්වැඩියා කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහාය ලබාදෙන ලදී. තවද, වෙල්කැටිය අමුණ ගම්මානයේ පොතව අමුණ අලුත්වැඩියා කිරීම සඳහා 2 වන ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භටපිරිස් ද සිය සහාය ලබාදෙනු ලැබීය.
මීට අමතරව, 23 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාතටිල්ල ප්‍රදේශයේ හානියට පත් ඇළ මාර්ග අලුත්වැඩියා කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත සිය සහයෝගය ලබාදුන් අතර, 4 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් නාවුල ලෙනදොර සිට වැලිකඩයාය දක්වා අතර වූ ප්‍රවේශ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සහ කවටය අමුණ ඇළ මාර්ගය වැලි කොට්ට දමා ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන ලදී.
10th December 2025
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, 59 පාබල සේනාංකයේ භටපිරිස් විසින් හානියට පත් නයාරූ පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය සහාය ලබා දෙන ලදී. මේ අතර, තලෛයිමන්නාරම රෝහල් පරිශ්‍රයේ ඇති අනාරක්‍ෂිත ගොඩනැගිල්ල ඉවත් කිරීම සඳහා 11 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් දෙවන දිනටත් කටයුතු කළ අතර, 14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 10 වන දින මුතියන්කට්ටු වැවේ බැම්ම ආරක්‍ෂා කිරීම සඳහා වැලි කොට්ට යොදන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 10 වන දින ප්‍රදේශ කිහිපයක අත්‍යවශ්‍ය යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමේ කටයුතු වල නිරත වූහ. ඒ අනුව, 21 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් සියඹලාගස්වැවෙහි ආපදාවට ලක්වූ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට සහාය විය. 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් තාන්ඩිකුලම් සහ නොච්චිමොඩෙයි අතර ප්‍රදේශයන්හි හානියට පත් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කළ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව 10 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් කුරුවිල්හි යෝධවැවෙහි වැව් බැම්මේ හානියට පිටවාන වැලි කොට්ට යොදා ප්‍රතිසංස්කරණය කරන ලදී. 23 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 10 වන දින හානියට පත් වූ ඌව පරණගම ප්‍රදේශයේ ඇති පාලමක් ප්‍රතිසංස්කරණය කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 2(ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බූ ඔය මාර්ගයේ හානියට පත් ස්ථාන සහ මේ වන විට 80% ක පමණ වැඩ කටයුතු සම්පූර්ණ කර ඇති තාන්ඩිකුලම්-නොච්චිමොඩෙයි දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහය දක්වන ලදී. මීට අමතරව, 17(ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ප්‍රදේශවාසීන් සමඟ එක්ව හානියට පත් සෙක්කඩිපිලාව සහ පේරුකන්කුලම් වැව් බැමි ප්‍රතිසංස්කරණය කරනු ලැබූහ.
මේ අතර, 55 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 වන බලඅණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 11 (ස්වේච්ඡා) බලඅණිය ගජබා රෙජිමේන්තුවේ, 6 වන බලඅණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ඉන්දීය හමුදා නියෝජිතයින් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව 2025 දෙසැම්බර් මස 11 වන දින අක්කරායන්කුලම් ප්‍රාදේශීය රෝහල අවට පිරිසිදු කළ අතර, කන්දවේලි හි හානියට පත් A-35 මාර්ගයේ පාලම ප්‍රතිසංස්කරණය කිරීමටද සහයෝගය ලබාදෙන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ කුඩුම්බිමලේ - මුරුතාන මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලදී. එමෙන්ම, 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය - පුල්මුඩේ B424 මාර්ගය අලුත්වැඩියා කරන ලද අතර, ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදෙමින් ඇලහැර අමුණෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ද සහාය වූහ.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 11 වන දින මුතියන්කට්ටු කුලම් වැවේ හානියට පත් වාන් දොරටුව ප්‍රතිසංස්කරණය කරමින් ඛාදනය වැළැක්වීම සඳහා වැලි කොට්ට භාවිතා කරමින් ආරක්‍ෂිත බැම්මක් ඉදිකරන ලදී.
12th December 2025
හානියට පත් වූ මහනුවර දිස්ත්‍රික්කයේ සන්නිවේදන සම්බන්ධතාවයන් නැවත ස්ථාපිත කිරීම සඳහා සංඥා පුහුණු පාසලේ භටපිරිස් විසින් මහනුවර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත 2025 දෙසැම්බර් මස 12 වන දින සිය සහාය ලබාදෙන ලදී. තවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ භට පිරිස් කන්දේ ඇල ප්‍රදේශයේ වෙත පිටත් විය.
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි වූ A-35 මාර්ගයේ කන්දවෙයිලි පාලමේ 2025 දෙසැම්බර් මස 12 වන දින සිට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්, ඉන්දීය හමුදා නියෝජිතයින් සහ ඉංජිනේරුවන් විසින් සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු සඳහා 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සහයෝගය ලබා දෙන ලදී.
14th December 2025
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මහලිදවැව වැවෙහි හානියට පත් වූ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලදී. මේ අතර, 8 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ද 2025 දෙසැම්බර් මස 14 වන දින කල්නඩ්ඩි කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරත වූහ.
4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි සහාය ඇතිව රාජාංගනය 9 වන මාර්ගය ප්‍රතිසංස්කරණය කරණු ලැබීය. මේ අතර, ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව, 12 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ පිහිටා ඇති සින්නකුලම් වැව් බැම්ම 2025 දෙසැම්බර් මස 14 වන දින අලුත්වැඩියා කරන ලදී.
15th December 2025
2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 15 වන දින මහකනදරාව ගල්පාලම අසල ඇති වැලිඔය හන්දිය සහ මිහින්තලය සම්බන්ධ කරන කොන්ක්‍රීට් පාලම ප්‍රතිසංස්කරණය කරන ලදී.
මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 15 වන දින රත්තොට ප්‍රදේශයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය වෙත සිය සයයෝගය ලබාදෙන ලදී.
16th December 2025
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 8 වන බලඇණියේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 16 වන දින මුරුන්කන් 279 කිලෝමීටර් කණුව සහ 280 කිලෝමීටර් කණුව අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලදී.
අයහපත් කාලගුණයෙන් හානියට පත් මුලතිව් - කොහොඹගස් හන්දිය මාර්ගයේ නයාරු පාලමේ ප්‍රථිසංස්කරණය කිරීමේ කටයුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් සාර්ථකව අවසන් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් මාතලේ, දික්කුඹුර ප්‍රදේශයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සිය සහයෝගය ලබාදෙන ලදී.
මීට අමතරව, දිට්වා සුළී කුණාටු බලපෑමෙන් පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් නායයෑම් ඉවත් කර මාර්ග විවෘත කිරීම සඳහා සහාය ලබා දෙන ලදී. එමගින් හුදකලා වූ ප්‍රජාවන් නැවත සම්බන්ධ කිරීමටත්, ප්‍රධාන මාර්ග ජාලයන් යථා තත්ත්වයට පත් කිරීමටත් ඔවුන් කටයුතු කළහ.
එමෙන්ම දැඩි ලෙස හානියට පත් ප්‍රදේශවල යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවා නැවත ස්ථාපිත කිරීමට ද මෙම භට පිරිස් සක්‍රීයව දායක වූහ.
ගම්පොළ-නුවරඑළිය, ගම්පොළ-නාවලපිටිය, මහනුවර-මහියංගනය, පස්සර-බදුල්ල, මහනුවර-ගලගෙදර සහ අනුරාධපුර-වවුනියාව යන ප්‍රධාන මාර්ග ඇතුළු වැදගත් මාර්ග රැසක් යථා තත්ත්වයට පත් කරන ලද අතර, එමගින් සිවිල් ජනතාවගේ ගමනාගමනය සහ සහන ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු තහවුරු විය.
මීට අමතරව, දැඩි ලෙස හානියට පත්ව තිබූ හුන්නස්ගිරිය-මීමුරේ මාර්ගය ද නැවත විවෘත කිරීමට කටයුතු කෙරුණු අතර, ඒ හරහා එම ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදා විය.
මීට අමතරව, මුලතිව්-කොකිලායි මාර්ගයේ නායාරු පාලම සහ හැටන් ප්‍රදේශයේ කාසල්රී පාලම ද යළි ඉදිකිරීමට පියවර ගන්නා ලදී. ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශවල සුන්බුන් ඉවත් කරමින් මහජන සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද ඉංජිනේරු බලකාය වැඩිදුරටත් සහාය විය.
එසේම, ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම, මහවැලි ගඟේ බැම්ම ශක්තිමත් කිරීම, දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සහ රත්තොට ප්‍රදේශයේ ප්‍රධාන ජල සැපයුම් නළය අලුත්වැඩියා කිරීම යන කටයුතු සඳහා ද ඔවුන්ගේ දායකත්වය ලබා දෙන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි යටතේ ස්ථාපිත 14 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස්, මහඔත්තප්පහුව ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහාය ඇතිව දින පහක් පුරා සිදු කළ මෙහෙයුමකින් පසු 2025 දෙසැම්බර් මස 16 වන දින මහඔත්තප්පහුව වැවේ වැව් බැම්ම යළි සකස් කරන ලදී.
මීට අමතරව, 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2025 දෙසැම්බර්ම මස17 වන දින කිත්ති වැවේ ඇළ බැම්ම ශක්තිමත් කිරීමේ මූලික අදියර සාර්ථකව නිම කළහ. එහිදී පොලිතින් උර 300ක් සහ දැව කොටන් යොදා ගනිමින් එම බැම්ම තහවුරු කිරීමට ඔවුන් පියවර ගත්හ.
යුද්ධ හමුදාපතිතුමන්, විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස, ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග RSP ndc psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු බ්‍රිගේඩියර් සී.ඩී. වික්‍රමනායක WV RSP ndc වෙත විශේෂ උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව, දිට්වා සුළී කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව ජලයෙන් යටවී තිබූ නායාරු - කොකිලායි මාර්ගයේ පිහිටි 'කොම්පැක්ට් 200' වර්ගයේ පාලම් දෙකක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කරන ලදි.
ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.පී. කරුණාතිලක RSPගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භට පිරිස්, මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කළහ. ඒ සඳහා 59 වන පාබල සේනාංකයට අයත් 591 වන පාබල බලසේනාවේ භට පිරිස්වල සහාය ද හිමි විය.
හානියට පත් යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම භට පිරිස් අසීරු තත්ත්වයන් මධ්‍යයේ වුවද දිවා රාත්‍රී නොබලා නොපසුබට උත්සාහයක නිරත වූහ.
2025 දෙසැම්බර් මස 02 වන දින සිට 16 වන දින දක්වා භට පිරිස් සිදු කළ අඛණ්ඩ සහ කැපවූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, හානියට පත්ව තිබූ අඩි 50ක් දිගැති පළමු පාලම සාර්ථකව ප්‍රතිසංස්කරණය කරන ලදී. එය අඩි 120ක් දිගැති පාලමක් ලෙස 2025 දෙසැම්බර් මස 16 වන දින යළි විවෘත කිරීමට ඔවුන් සමත් වූහ.
වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ මගපෙන්වීම යටතේ, 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරෙල් එම්.ඩබ්ලිව්.එස්. මිල්ලගල RWP RSP USP Hdmc psc සහ 591 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.එස්.අයි. අලුවිහාරේ RWP RSPයන නිලධාරීන් මෙම මෙහෙයුමේ ප්‍රගතිය නිරීක්ෂණය කළහ. සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ කැපවූ අධීක්ෂණය මෙහිදී මනාව විදහා දැක්විණි.
8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 279 සහ 280 කණු අතර කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහාය ලබා දුන්හ. එමෙන්ම, එම බලඇණියේම තවත් කණ්ඩායමක් විසින් වෙප්පන්කුලම් ප්‍රදේශයේ පිහිටි නෙලුකුලම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද සිදු කරන ලදී.
18th December 2025
අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව තිබූ A-35 මාර්ගයේ පිහිටි කණ්ඩාවෙලී පාලම ප්‍රතිසංස්කරණය කටයුතු 2025 දෙසැම්බර් මස 18 දින 55 පාබල සේනාංකයේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී. එම ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු සඳහා 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 9 ඉංජිනේරු සේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සමාජිකයන්, ඉන්දීය යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඉංජිනේරුවන් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූහ.
23rd December 2025
21 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් චෙඩ්ඩිකුලම් සහ මුහන්දන්කුලම් අතර කිලෝමීටර් 251 කණුවේ සිට කිලෝමීටර් 250 කණුව දක්වා වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. එමඟින් හානි වූ ප්‍රදේශවල දුම්රිය මාර්ගවල දුම්රිය ගමනාගමන කටයුතු ආරක්‍ෂිතව යලි යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූහ. එසේම, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 59 වන පාබල සේනාංකය යටතේ රාජකාරි සිදුකරනු ලබන භටපිරිස් විසින් හානියට පත් නයාරු පාලම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය ලබා දෙන අතර, එම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු දැනට සිදුකරමින් පවතී.