දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කටයුතුවල නිරතව සිටි 10 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට පැමිණෙයි

දකුණු සුඩානයේ, බෝර් හි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතුව සිටි නිලධාරින් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 42 දෙනෙකුගෙන් සමන්විත 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම වසරක කාලසීමාවක සිය රාජකාරි නිමාවෙන් පසුව 2025 පෙබරවාරි මස 11 දින ශ්‍රී ලංකාවට පැමිණියහ. තවත් නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 05 දෙනෙකු දකුණු සුඩානයේ සේවයේ නිරතව සිටින අතර ඔවුන් ද නුදුරේදී මෙරටට පැමිණීමට නියමිතව ඇත.

රාජකාරි නිමාවෙන් පසු දිවයිනට පැමිණි යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී සහ ගමන් පාලන අධ්‍යක්‍ෂ ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

වසරක කාලසීමාවක් පුරාවට දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නිරතව සිට රෝගීන්ගේ ආරක්‍ෂාව කෙරෙහි දැඩි අවධානයක් යොමුකරමින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් සහ ගුණාත්මකභාවය පවත්වාගැනීම වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙමින් දෙවන මට්ටමේ රෝහල් කාර්යභාරය නිසි අයුරින් පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම කැපවී සිටියහ.