යුද්ධ හමුදාධිපතිතුමන් දියතලාව, යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 15 දින දියතලාව, යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක නිරතවිය.

යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත උසස් තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා එම රෝහලේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරන ලදී.

සංචාරය අතරතුරදී, එම රෝහල වෙතින් ලබාදෙනු ලබන වෛද්‍ය සේවාවන්, රෝහලේ යටිතල පහසුකම් සහ රෝහල් ක්‍රියාකාරිත්වය ඇතුළු රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන්ව දැනුවත් කෙරිණි. එසේම, ඵලදායී සෞඛ්‍ය සේවාවක් ලබාදීමේදී මුහුණදෙන අභියෝග සහ මේ වනවිට සිදුකරමින් පවතින වැඩිදියුණු කිරීම් පිළිබඳව ද රෝහල් කාර්ය මණ්ඩලය විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව දැනුවත් කරන ලදී.

වෛද්‍ය වෘත්තිකයින් සහ වෛද්‍ය සහයක කාර්යය මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ කැපවීම ඇගයීමට ලක්කළේය. එමෙන්ම, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම තහවුරු කිරීම සඳහා වෛද්‍ය පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, ඵලදායි සෞඛ්‍ය සේවා සඳහා පහසු ප්‍රවේශයක් සහතික කිරීමටත් එතුමන් කැපවී සිටින බව ද ප්‍රකාශ කළේය.