20th May 2026
17 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය 2026 මැයි මස 19 දින ජාතික රණවිරු ස්මාරක පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන් සහභාගි විය.
වර්ෂ 2009 මැයි මාසයට පෙර එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී මාතෘභූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම උදෙසා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු දේශප්‍රේමී වීරෝදාර රණවිරුවන් සිය ජීවිත පූජාකරනු ලැබූ අතර, එම වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය, නිර්භීතකම, කැපකිරීම සහ උත්තරීතර පරිත්‍යාගය වෙනුවෙන් මෙම උත්සවයේදී පුෂ්පෝපහාර පුදකර ඔවුන් වෙත ගෞරවාචාරය දැක්වීය.
මෙම රණවිරු සැමරුම් උත්සවය සඳහා භික්ෂූන් වහන්සේලා ප්රමුඛ ආගමික පූජකවරුන්, දිංවගත රණවිරුවන්ගේ භාර්යාවන්/ළඟම ඥාතීන්, යුද ප්‍රවීණයන්,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්, හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, ත්‍රිවිධ හමුදා ප්‍රවීණයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වූහ.
රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ආරම්භ කරමින් ජාතික ගීය ගායනා කල අතර, අනතුරුව ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් සෙනරත් කොහොන (විශ්‍රාමික) විසින් පිළිගැනීමේ කතාව පැවැත්වීමෙන් පසුව, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.
ඉන්පසුව, ජනාධිපතිතුමන් රැස්ව සිටි පිරිස ඇමතූ අතර, පසුව වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය සිහිකිරීමේ පාඨය කියවීම සිදුකරන ලදී. ඉන් අනතුරුව රණ බෙර වාදනය කර හිරු නැගෙනා මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ වාදනය සිදුකෙරිණි.
අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් එක්ව ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. එමෙන්ම, රණවිරු සැමරුම් උත්සවයේ වැදගත්ම අවස්ථාව සනිටුහන් කරමින් දිවංගත රණවිරුවන්ගේ ළඟම ඥාතීන් එක්ව දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීය.
හමුදා සම්ප්‍රදායානුකූලව මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන වාදනයෙන් අනතුරුව රණවිරු අනුස්මරණ උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරිණි.
(ඡායාරූප අනුග්‍රහය: www.presidentsoffice.gov.lk)