ජනාධිපතිතුමන් රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමේ නිල සංචාරයක

රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන් 2026 මැයි මස 19 වන දින එම සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.

එහිදී, එතුමන් එම රණවිරුවන් සමඟින් සුහදව අදහස් හුවමාරුකර ගනිමින් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම සඳහා ඔවුන් කළ කැපකිරීම් අගය කරනු ලැබීය.

ඉන්පසුව, ජනාධිපතිතුමන් එම සුවතා නිකේතනයේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟින් අදහස් හුවමාරුකර ගනිමින් ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් සඳහා ලබා ගත හැකි වෛද්‍ය සහ සුභසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සොයා බැලීය.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ. වීරකෝන් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති, බ්‍රිගේඩියර් සෙනරත් කොහොන (විශ්‍රාමික) සහභාගී වූහ.

(ඡායාරූප අනුග්‍රහය: www.presidentsoffice.gov.lk)