යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් මූල්‍ය ආධාර වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2026 මැයි මස 15 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සහභාගී විය.

එහිදී, යුද්ධ හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා නව නිවාස ඉදිකිරීමට රුපියල් 1,000,000.00 බැගින් රුපියල් 5,000,000.00 ක මුදලක් ප්‍රදානයක් කරන ලද අතර, මීට අමතරව නව නිවාස සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස ඉදිකිරීම සඳහාද යුද්ධ හමුදා සාමාජිකයින් 19 දෙනෙකු සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා නිවාස ආධාර පිරිනමන ලදී. ඒ අනුව, සමස්තයක් වශයෙන් නිවාස ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 9.8 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම, වෛද්‍ය ප්‍රථිකාර ලබන හමුදා සාමාජිකයෙකුගේ දරුවෙකු වෙත කොළඹ, රොටරි සමාජයෙන් ලැබුණු රුපියල් 287,500.00 ක් වටිනා විදුලි රෝද පුටුවක් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබන තවත් හමුදා සාමාජිකයෙකුගේ නිවුන් දරුවන් දෙදෙනෙකු වෙත රුපියල් 430,000.00 ක් වටිනා විදුලි ට්‍රයිසිකලයක් පරිත්‍යාග කරන ලදී. තවද, හමුදා සාමාජිකයන් තිදෙනෙකු වෙත රුපියල් 54,900.00 බැගින් වටිනා ජල පිරිපහදු යන්ත්‍ර තුනක් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට රුපියල් 33,249.00 ක් වටිනා ඕවර්ලොක් මහන මැෂිමක් පරිත්‍යාග කරන ලදී.

ඉන්පසුව, රණක්‍ෂිතයට පත් හමුදා සාමාජිකයෙකුගේ දරුවන් දෙදෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.