විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර RWP RSP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මැයි මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG හමුවිය.

1991 අප්‍රේල් මස 29 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක PMA- 03 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර RWP RSP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරි පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 අප්‍රේල් මස 14 වන දින විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 නොවැම්බර් මස 22 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 මැයි මස 17 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගැනීමට නියමිත මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති වශයෙන් රාජකාරි කරනු ලබයි.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 4 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරී, 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ සහ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ කණ්ඩායම් භාර නිලධාරී, 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන,‌ පාබල පුහුණු මධ්‍යස්ථාන පුහුණු අංශ නිලධාරී උපදේශක, 1 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍රියාන්විත සහ පුහුණු අංශ භාර නිලධාරී, 11 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ මාණ්ඩලික නිලධාරී, 23 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ යුධ සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 (ස්වේච්ඡා), යුද්ධ හමුදා පුහුණු පාසලේ ආධුනික පුහුණු අංශයේ අණදෙන නිලධාරී සහ වැඩබලන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1, ආරක්‍ෂක සේනා මූලස්ථානය – මධ්‍යම කර්නල් (ප්‍රධාන මාණ්ඩලික නිලධාරී), ආරක්‍ෂක සේනා මූලස්ථානය – මධ්‍යම වැඩබලන බ්‍රිගේඩියර් (ප්‍රධාන මාණ්ඩලික නිලධාරී), යුද්ධ හමුදාව ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල් යුද සේවා ලේකම් (ස්වේච්ඡා) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ නියෝජ්‍ය සේනාවිධායක යන තනතුරු හොබවා ඇත.

ඉහත තනතුරු වලට අමතරව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද සේවා ලේකම් ශාඛාවේ සහකාර යුද සේවා ලේකම් 3 සහ 2, යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් යන තනතුරුද හොබවා ඇත.

 

ඉහත තනතුරු වලට අමතරව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී පාබල සේනාංකයන්හි සහ බලසේනාවන්හි  බලසේනා මේජර්, බලසේනාධිපති, නියෝජ්‍ය සේනාංකාධිපති සහ සේනාංකාධිපති යන තනතුරුද හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කැපවීම සහ ආදර්ශමත් සේවය අගයමින් රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම පිරිනමන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්  තරුණ නිලධාරි පාඨමාලාව, විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව සහ ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව ඇතුළු දේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කමාන්ඩෝ පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරි උපක්‍රමික පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව – ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වන යුද හමුදා විශේෂඥ පාඨමාලාව – ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයෙන් රාජ්‍ය තාන්ත්‍රික හා ගෝලීය කටයුතු පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගෙන ඇත.