27th April 2026
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා අන්තර් නිවාස (Interim Shelters) ඉදිකිරීම පිළිබඳ සම්බන්ධීකරණ සාකච්ඡාවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ 2026 අප්‍රේල් මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී දැඩි බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක වන කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන ප්‍රදේශවල ක්‍රියාත්මක අන්තර් නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඒවා කඩිනම් කිරීම පිළිබඳව අවධානය යොමු විය.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ අවතැන් වූ පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසක් ආරක්‍ෂිත සහ ජීවත්වීමට සුදුසු නිවාසවල තාවකාලිව පදිංචි කිරීමයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු තාක්‍ෂණය සහ ශ්‍රම දායකත්වය උපයෝගී කරගනිමින් මෙහි ඉදිකිරීම් කටයුතු මැයි මස මුල් සතියේ ආරම්භ කිරීමටත්, කෙටි කාලයක් තුළ නිම කිරීමටත් සැලසුම් කර ඇත.
මෙම මුලපිරීම රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ව්‍යාපෘතිය නියමිත වේලාවට අවසන් කිරීම සහතික කිරීම සඳහා පැහැදිලි කාලසටහනක් සහිත සවිස්තරාත්මක ක්‍රියාකාරී සැලසුමක් ඉදිරිපත් කරන ලෙස යුද හමුදාවට උපදෙස් දුන්නේය.
ඉදිකිරීම් සඳහා සුදුසු ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRI) සහය ඇතිව, ආරක්‍ෂිත ප්‍රමිතීන්ට අනුකූලව මේ වන විට සිදුවෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.
ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය ඉහළ නැංවීමටත්, විනිවිදභාවය, වගවීම සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ වැදගත්කම පිළිබඳවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ආපදා කළමනාකරණ අංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA), ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRI) සහ අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයෝ සහභාගී වූහ.
(ඡායාරූප අනුග්‍රහය : www.defence.lk)