12th April 2026
මේජර් ජෙනරල් සී.ඩී. වික්‍රමනායක WV RSP ndc, හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 25 වන බලකාධිපති ලෙස 2026 අප්‍රේල් මස 04 දින පනාගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
අභිනවයෙන් පත් වූ බලකාධිපති මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එන්.කේ.බී.එස් ජයසේකර විසින් ප්‍රධාන දොරටුව අභියසදී උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, එම බලකායේ දිවිපිදූ රණවිරුවන්හට උපහාර දැක්වීම වෙනුවෙන් රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහර දැක්විය. ඉන්පසුව, සරඹ භූමියේදී නව බලකාධිපති වෙත සම්මාන මුරයක් ද පවත්වනු ලැබීය.
මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බලකාධිපති නිල ලේඛනවලට අත්සන් තබමින් සිය නව ධූරයේ රාජකාරි භාරගැනීම නිල වශයෙන් සනිටුහන් කරන ලදී.
නිල කටයුතුවලින් අනතුරුව, බලකායේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රෙජිමේන්තු කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. ඉන්පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
එදින වැඩකටයුතු අවසන් වූයේ බලකාධිපති විසින් භටපිරිස් ඇමතීමෙනි. එහිදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අනාගතය පිළිබඳ තම දැක්ම සහ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගී වූහ.