30th March 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc, වසර 36 කට අධික කීර්තිමත් හමුදා සේවයකින් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට පෙර, 2026 මාර්තු මස 30 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සිය කාර්යාලයට ආරාධනා කරන ලදී.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විස්තරය පහත පරිදිවේ:
1990 ජනවාරි මස 09 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 33 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1991 ජුනි මස 15 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මැයි මස 18 වන මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 අප්‍රේල් මස 03 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබන අතර, විශ්‍රාම යන විට, ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති යන තනතුරු දරයි.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, 6 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඛණ්ඩ භාර නිළධාරි, 8 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ විධායක නිලධාරි සහ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (යුධ පුහුණු), ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 (ක්‍රියාන්විත/පුහුණු), යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරි 2 (විදේශ/පුහුණු), හයිටියේ එක්සත් ජාතීන්ගේ ස්ථායිකරණ මෙහෙයුමේ යුධ සේනා මූලස්ථානයේ Senior Staff Officer (Personnel), ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියාන්විත/පුහුණු), 12 කාරක රෙජිමේන්තුව (ආධාරක), ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි, 1 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි,ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, යුද්ධ හමුදාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය නියුක්ත කර්නල් (හමුදාධිපති ලේකම් කාර්යාලය), යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේ කාර්ය නියුක්ත කර්නල් (උපායමාර්ගික සහ මූලධර්ම) සහ නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක වැනි ධූරයන් හොබවන ලදී.
තවඳ, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක (වැඩ බලන), 571 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ/ අධ්යක්ෂ ජෙනරාල්, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ආඥාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වැනි ධූරයන් ද හොබවන ලදී.
එපමණක් නොව, 2018–2019 ජාතික ආරක්ෂක සහ ජාතික ආරක්ෂණ ප්‍රතිපත්ති ප්‍රතිශෝධනය කිරීමේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පත් කරන ලද මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස විශේෂ ප්‍රතිපත්ති සැලසුම් කිරීම මෙන්ම 2020 දී COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් (සැලසුම්), ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2019–2020 සහ 2020–2025 ඉදිරි මාවත සකස් කිරීම සඳහා මණ්ඩලයේ සාමාජික, 2024–2030 ත්‍රිවිධ හමුදා ආරක්ෂක සමාලෝචනය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලය විසින් පත් කරන ලද මණ්ඩලයේ සභාපති, Land Force Defence Review 2024–2030 සඳහා පත් කරන ලද මණ්ඩලයේ සභාපති සහ Land Force Defence Review 2024–2030 ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.
ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කැපවීම සහ ආදර්ශමත් සේවය අගයමින් උත්තම සේවා පදක්කම (USP) පිරිනමන ලදී.
එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ක්ෂේත්‍ර ඉංජිනේරු අධීක්ෂණ පාඨමාලාව, මූලික බුද්ධි පාඨමාලාව, කනිෂ්ඨ නායකත්ව සහ කළමනාකරණ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව,පාබල හමුදා තරුණ නිලධාරි පාඨමාලාව, ඒකක ගිණුම් තැබීමේ නිලධාරී පාඨමාලාව,පරිගණක විද්‍යා පාඨමාලාව,අණ හා මාණ්ඩලික පාඨමාලාව,මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලාව, ආරක්ෂක උපදේශක සංස්කරණ පාඨමාලාව,මූලික ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ පුහුණු පාඨමාලාව සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ ගිනි ප්රතිචාරපාඨමාලාව ඇතුළු දේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.
තවඳ, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී තරුණ නිලධාරි ඉංජිනේරු පාඨමාලාව - පාකිස්ථානය,රෙජිමේන්තු සංඥා නිලධාරී පාඨමාලාව - ඉන්දියාව,ඒකාබද්ධ නිලධාරි බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - ඉන්දියාව සහ මැලේසියානු සන්නද්ධ හමුදා මාණ්ඩලික විද්‍යාල පාඨමාලාව - මැලේසියාව ඇතුළු විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.
හමුදා සුදුසුකම් වලට අමතරව, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්, මැලේසියාවේ මලයා විශ්ව විද්‍යාලයෙන් උපායමාර්ගික සහ ආරක්ෂක අධ්‍යයන පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ නාවික පශ්චාත් උපාධි පාසලෙන් ආරක්ෂක අධ්‍යයනය (සිවිල්-හමුදා සබඳතා) පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.