විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මාර්තු මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

1990 සැප්තැම්බර් මස 07 කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1991 මාර්තු මස 13 දින කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඔක්තෝබර් මස 13 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 අප්‍රේල් මස 07 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරනු ලබයි.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ E කණ්ඩායමේ කණ්ඩායම් භාර නිලධාරි සහ කාර්යයේ නියුක්ත නිලධාරී අණදෙන, 513 පාබල බලසේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 3 (ක්‍රියාන්විත), 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ B කණ්ඩායමේ නිලධාරී අණදෙන, එවකට විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරී, 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 5 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, එවකට යුද්ධ හමුදාධිපති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජේ ජයසූරිය (විශ්‍රාමික) RWP VSV USP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරී, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක, 661 පාබල බලසේනාවේ බලසේනාධිපති, එවකට ආරක්‍ෂක ලේකම් සහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිතුමන්ගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරී, 61 සහ 53 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, 1 වන බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ ශූර පදක්කම පදක්කමෙන් පිදුම් ලැබීය.

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මූලික කමාන්ඩෝ පාඨමාලාව, උසස් කමාන්ඩෝ පාඨමාලාව, නිලධාරී විශිෂ්ටතා පාඨමාලාව, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ පාඨමාලාව සහ උසස් පැරෂුට් පුහුණු පාඨමාලාව, කමාන්ඩෝ පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරීන්ගේ පාබල හමුදා පාඨමාලාව - පාකිස්ථානය, නිලධාරීන් සඳහා වන Anti-Armour Course - පාකිස්ථානය සහ කනිෂ්ඨ අණදෙන සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව - බංග්ලාදේශය වැනි දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් හදාරන ලදී.