විශේෂ බලකා මූලික පාඨමාලා අංක 57 මාදුරු ඔයේදී විසිර යයි

විශේෂ බලකා මූලික පාඨමාලා අංක 57 විසිර යාමේ පෙළපාලිය 2026 මාර්තු මස 20 වන දින මාදුරු ඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත්විණි. මාස නවයක කාලයක් පුරා පැවති දුෂ්කර වූ පුහුණු පාඨමාලාවක් සාර්ථකව හැදෑරූ නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 59 දෙනෙකු එහිදී විසිර ගොස් විශේෂ බලකා රෙජිමේන්තුව වෙත ඇතුළත් වනු ලැබීය.

විසිර යමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, සහභාගී විය.

විශේෂ බලකා පුහුණු පාසල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ වීරසේකර WWV RWP RSP USP AUSWC psc සහ විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩී.එම්.සී ගුණසේකර RWP RSP USP psc විසින් පිළිගත් අතර, අනතුරුව පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලෙස එතුමන්ට ආරාධනා කරන ලදී.

විසිර යාමේ පෙළපාලියට අණදෙන්නා ලෙස මේජර් එන්.පී.එන්.එම්. නානායක්කාර USP psc සහ දෙවන අණදෙන්නා ලෙස මේජර් එස්.ජේ. විජේමාන්න USP කටයුතු කළේය.

පාඨමාලාවේ කැපී පෙනෙන දක්‍ෂතා පෙන්නුම් කරමින් දෙවන ලුතිනන් ආර්.ජී.ටී.ජී. රාජපක්‍ෂ හොඳම ශාරීරික යෝග්‍යතාවයට හිමි සම්මානයත් දෙවන ලුතිනන් එල්.ජී.කේ.එම්. ද සිල්වා දක්‍ෂතම උපාය මාර්ග හැකියාවන්ට හිමි සම්මානයත් හිමිකර ගත් අතර, දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ලාන්ස් කෝප්‍රල් එස්.එස්.එම්. කුමාර හිමි කරගත් අතර, දෙවන ලුතිනන් එල්.ජී.කේ.එම්. ද සිල්වා විශේෂ බලකා මූලික පාඨමාලා අංක 57 හි දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය හිමිකර ගන්නා ලදී.

උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක උපදේශකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ විසිර යනු ලැබූ නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ.