23rd February 2026
‘Masterminds Competition - 2026’ තරඟයේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී 2026 පෙබරවාරි මස 23 වන දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, එම බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc විසින් පිළිගන්නා ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ කරන ලද මෙම තරඟයේ මූලික අරමුණ වූයේ නිලධාරීන්ගේ සහ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, නායකත්ව ගුණාංග, ධනාත්මක ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීමයි.
මෙම තරඟය 2026 මැයි මස අවසානය දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු නිත්‍ය සහ ස්වේච්ඡා ඒකකයන්හි සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ස්වේච්ඡා බලඇණි මූලස්ථාන පරිශ්‍රයේදී අදියර අටක් යටතේ පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වේ.
‘Masterminds Competition – 2026’ තරඟය නිල වශයෙන් ආරම්භ කිරීම සංකේතවත් කරමින්, පළමු වටයේ තරඟ පැවැත්විණි. දවසේ වැඩසටහන් අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සහභාගී වූවන් වෙත සහතිකපත් ප්රදානය කළ අතර, ජයග්‍රහණය කර ඉදිරි වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම්වලට මෙන්ම පළමු වටයෙන් තරඟය නිමා කළ කණ්ඩායම් ද ඇගයීමට ලක් කරන ලදී.