ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බෝ නොවන රෝග පිළිබඳ දේශනයක් පවත්වයි

‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්‘ වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර විසින් 2026 ජනවාරි මස 30 වන දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී බෝ නොවන රෝග පිළිබඳ දේශනයක් පවත්වන ලදී.

බෝ නොවන රෝග අවදානමට ලක්ව සිටින යුද්ධ හමුදා සාමාජිකයන් හඳුනාගෙන ඔවුන්ව කල් වේලා ඇතිව විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම අරමුණු කරගත් නියමු ව්‍යාපෘතියක සිව්වන අදියර ලෙස මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම දේශනය විශේෂයෙන් ඉලක්ක කරනු ලැබුවේ විශ්‍රාම යාමට පෙර ආසන්න වශයෙන් වසර පහක සේවා කාලයක් ඉතිරිව ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහ දෙවන අණදෙන නිලධාරීන් සඳහාය. මීට අමතරව, අධික රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම, අධික කොලෙස්ටරෝල්, ශරීර ස්කන්ධ දර්ශකය ඉහළ මට්ටමක පැවතීම සහ පවුලේ නිදන්ගත රෝග ඉතිහාසයක් තිබීම වැනි සාධක හේතුවෙන් අවදානමට ලක්විය හැකි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් ද මෙයට ඇතුළත් විය.

එහිදී, බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන (විශ්‍රාමික) USP සහ බ්‍රිගේඩියර් ආර්.එම්.එම් මොණරාගල USP ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය විශේෂඥයින් විසින් තරුණ බව සහ දීර්ඝායුෂ පවත්වා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ආතති කළමනාකරණය, බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධනය, ආහාර සහ පෝෂණය සහ ව්‍යුහගත ශාරීරික ව්‍යායාම වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කරමින් දේශන පවත්වන ලදී

දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.