13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. යුද්ධ හමුදාව විසින් සත්කාරකත්වය දරන ලද මෙම තරඟාවලිය 2024 සැප්තැම්බර් 12 වන දින ආරම්භ වූ අතර, වසර දෙකක කාලයක් පුරා පැවැත්වුණු මෙම තරඟාවලිය ක්‍රීඩා ඉසව් 39 කින් සමන්විත විය.

තරඟාවලියේ සමාප්ති උත්සවය ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කේ.‍පී අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc ගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි මස 12 වන දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම අවස්ථාවට ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.

තරඟාවලිය අවසානයේ, යුද්ධ හමුදාව රන් පදක්කම් 157ක්, රිදී පදක්කම් 131ක්, ලෝකඩ පදක්කම් 108ක් සහ ශූරතා කුසලාන 31ක් දිනා ගනිමින් පළමු ස්ථානය හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව රන් පදක්කම් 99ක්, රිදී පදක්කම් 99ක්, ලෝකඩ පදක්කම් 108ක් සහ ශූරතා කුසලාන 30ක් දිනා ගනිමින් දෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව රන් පදක්කම් 46ක්, රිදී පදක්කම් 66ක් සහ ලෝකඩ පදක්කම් 97ක් දිනා ගනිමින් තෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.