8th January 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි සහ එතුමන්ගේ භාර්යාව වන සුනීතා ද්විවේදි මහත්මිය 2026 ජනවාරි මස 08 වන දින යුද විද්‍යාලයේ නිල සංචාරයක නිරත විය.
යුද විද්‍යාලය වෙත පැමිණි ඉන්දියානු යුද්ධ හමුදාධිපතිව එම විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.ආර්.එන් සිල්වා RSP USP psc විසින් පිළිගනු ලැබූ අතර, ඉන් පසුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී.
පසුව, ඉන්දියානු යුද්ධ හමුදාධිපති යුධ විද්‍යාලයේ සේනාවිධායක හමුවූ අතර, එහිදී දෙපාර්ශවයටම වැදගත් වන වෘත්තීය කරුණු සහ සහයෝගීතාව පිළිබඳව සුහද සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම හමුව අවසානයේදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
උත්සවය අතරතුරදී, ඉන්දියානු යුද්ධ හමුදාධිපති ඉන්දියානු ආධාර යටතේ යුද විද්‍යාලයේ ඉදි කිරීමට යෝජිත ඉන්දු-ලංකා ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා වූ මුල්ගල් තැබීය. මෙම උත්සවය එකමුතුකම සහ සමගිය සංකේතවත් කරමින් සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ පවත්වන ලද අතර, ඉන්දියානු යුද්ධ හමුදාධිපති විසින් සමරු පුවරුව නිරාවරණය කර එම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී.
උත්සව අවස්ථාවට සහභාගී වූ සර්ව ආගමික නායකයින් වෙත ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි විසින් ත්‍යාග සහ පිරිකර ප්රදානය කරන ලදී. පසුව එම විද්‍යාලයේ ශාරීරික පුහුණුවීම් සහ සුභසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඉදිකිරීමට යෝජිත ගෟහස්ථ ක්‍රීඩාගාරය පිළිබඳවද ඉන්දියානු යුද්ධ හමුදාධිපතිව දැනුවත් කරනු ලැබීය.
අනතුරුව, ඉන්දියානු යුද්ධ හමුදාධිපති විසින් ඉන්දියාවේ සහයෝගය සහ සුහදත්වය තවදුරටත් වර්ධනය කරමින් එම විද්‍යාලය වෙත ගිලන් රථයක් පරිත්‍යාග කරන ලදී.
ඉන්පසුව, ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබූ අතර, සංචාරය අවසානයේ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. පසුව, එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය නිලධාරීන් සමඟ සුහද කතාබහක නිරත විය.
මෙම අවස්ථාව සඳහා යුද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධ්‍යයන අංශයේ සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.