1st January 2026
2026 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර, යුද්ධ හමුදා මූලස්ථානයේදී ජනවාරි මස 01 දින උදෑසන උත්සවයක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ පැමිණීමත් සමඟ උත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරිණි. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සමඟින් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය ඔසවනු ලැබූහ.
මෙම අවස්ථාවට සහභාගී වූ සියලු නිලයන් විසින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc ගේ මූලිකත්වයෙන් රාජ්‍ය ප්‍රතිඥාව කියවීම සිදුකෙරිණි.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර 2026 නව වසර සඳහා සුබ පැතුම් එක් කරමින් යුද්ධ හමුදාව යනු ‘දේශයේ අභිමානය සහ ජාතියේ ශක්තිය’ බව සිහිපත් කළේය. අනතුරුව, එතුමන් රට වෙනුවෙන් දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත සිය ගෞරවාචාරය දක්වමින්, හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්ගේ සහ සියලුම නිළයන්ගේ දායකත්වය අගය කර, ඉහළ සංග්‍රාමික සූදානම සහ වෘත්තීයභාවය තුළින් ජාතික සමගිය, ස්වෛරීභාවය සහ ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදාවේ වගකීම අවධාරණය කළේය.
පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා භටපිරිස් කේන්ද්‍ර කරගනිමින් යුද්ධ හමුදා භටපිරිස් සඳහා හිතකාමී හමුදාවක් බවට පත්කිරීමට ගනු ලැබූ කාර්යයෙහි ප්‍රගතිය අවධාරණය කරමින් යුද්ධ හමුදා භටපිරිස්හි සදාචාරාත්මක, ශාරීරික සහ සංකල්පීය අංශයන්හි ලබා ඇති දියුණුවත් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව කටයුතු කිරීම සහ ජාතික ආපදාවලදී යුද්ධ හමුදාව පළමුව ඊට ප්‍රතිචාර දක්වන්නන් ලෙස ඉටුකරන ලැබූ ආදර්ශමත් භූමිකාවත් මෙහිදී පෙන්වා දෙන ලදී. තවද, එතුමන් ඉදිරි වසරේදී වඩාත් ශක්තිමත්, සුරක්‍ෂිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී, සදාචාරාත්මක බව ආරක්‍ෂා කරන ලෙසත්, ජාතික සංවර්ධනය සඳහා දායක වන ලෙසත් සියලුම නිලයන්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම වෘත්තීයභාවය, විශ්වසනීයත්වය සහ ගෞරවය තුළින් ජයග්‍රහණය කරා යන යුද්ධ හමුදාවේ දැක්ම වෙනුවෙන් කැපවී කටයුතු කරන ලෙසද එතුමන් වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉන් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ආගමික ආශිර්වාද ලබා ගත් අතර, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් සියළු නිලයන් සමඟින් සුහද පිළිසඳරක නිරතවිය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයන් සහභාගී වූහ.