ජර්මානු බුන්ඩස්වෙර් එක්සත් ජාතීන්ගේ හමුදා පුහුණු කණ්ඩායමක් දිවයිනට

ජර්මානු බුන්ඩස්වෙර් ගුවන් හමුදාවට අයත් විශේෂඥයන් හත් දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ හමුදා පුහුණු කණ්ඩායමක් 2025 නොවැම්බර් මස 26 දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්හට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගීවීමේදී ලබාදෙනු ලබන උසස් ක්ෂේත්‍ර පුහුණුව පිළිබඳව තක්සේරු කිරීම සිදුකරන ලදී.

ඒ අනුව මෙම යෝජිත පුහුණු ක්‍රම වෙදය මඟින් ක්ෂේත්‍ර අභ්‍යාස, ගමන් කිරීමේ ක්‍රියා පටිපාටි, පෙළපාලි විසිරවා හැරීමේ ශිල්පීය ක්‍රම සහ අනතුරුදායක ද්‍රව්‍ය හඳුනා ගැනීම පිළිබඳ කුසලතා වැඩි දියුණු කිරීම අරමුණ විය.

ඒ අනුව නොවැම්බර් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.සී.එස්. ජාගොඩ psc ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ජර්මානු දූත පිරිසගේ සහභාගීත්වයෙන් මේ පිළිබඳව මූලික සාකච්ඡා යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති අතර අනතුරුව, එම දූත පිරිස නොවැම්බර් 28 දින, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල ඇඹිලිපිටිය වෙත ක්ෂේත්‍ර සංචාරයක් සිදු කරමින් එම පාඨමාලා පවත්වනු ලබන පන්ති කාමර සහ පවතින පුහුණු පහසුකම් නිරික්ෂණය කළ අතර, එහිදී, එම දූත පිරිස විසින් ප්‍රායෝගික පුහුණු නිදර්ශනයක් ද පරීක්ෂා කරන ලදී.

පැවති අවසන් සාකච්ඡාවේදී, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වැඩසටහන සඳහා පුහුණු ක්‍රමවේද අනුපිළිවෙල සහ නූතන තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම පිළිබඳව සමාලෝචනය කරන ලදී.