විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.සී.වී. ප්‍රනාන්දු ndc, 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

1991 අගෝස්තු මස 26 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 37 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ජී.සී.වී. ප්‍රනාන්දු ndc, පකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1993 දෙසැම්බර් මස 19 දින ශ්‍රී ලංකා සංඥා බලකායට වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි මස 13 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 දෙසැම්බර් මස 11 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 5 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛණ්ඩ භාර නිලධාරි සහ විධායක අධිකාරි, තුන්වන කාර්ය සාධක බලකායේ, 22 පාබල සේනාංකයේ සහ ගුවන් සංග්‍රමික බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (මෙහෙයුම්), 4 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ විධායක අධිකාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංඥා නිලධ‍ාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ නිලධාරි අධ්‍යයන මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II, 4 රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා බලඝණයේ නිලධාරි අණදෙන, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සංඥා නිලධ‍ාරි, 10 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ දෙවන අණදෙන නිලධාරි සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංඥා බලඝණයේ නිලධාරි අණදෙන වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා හමුදා බලඇණියේ සංඥා බලඝණයේ නිලධාරි අණදෙන, 64 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), ආරක්‍ෂක සේනා මූළස්ථානය - වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, නිලධාරි වෘත්තීය ප්‍රවර්ධන හා ප්‍රගමන මධ්‍යස්ථානයේ පරිපාලන අංශයේ අණදෙන නිලධාරි, 53 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පරිපාලන අංශයේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ කර්නල් (භඨකාර්ය සම්පාදන), යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරී කාර්යාලයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ), යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්‍ෂ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ධූරයන් ද හොබවන ලදී.

එසේම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය සේවා කාලය තුළදී තරුණ සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, මූලික ප්‍රගුණ වෙඩික්කරු උපදේශක පාඨමාලාව, ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලාව, ප්‍රායෝගික පිස්තෝල පාඨමාලාව සහ ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව ඇතුළු දේශීය පාඨමාලා රාශියක් හදාරන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව - පාකිස්ථානය, තරුණ සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව (සංඥා) - පාකිස්ථානය, කණ්ඩායම් අණදෙන නිලධාරීන්ගේ සංඥා පාඨමාලාව - ඉන්දියාව සහ රේඩාර් යන්ත්‍ර අලුත්වැඩියා සහ නඩත්තු කිරීමේ ඉංජිනේරු (ඩිප්ලෝමා) පාඨමාලාව - චීනය වැනි විදේශීය පාඨමාලාද හදාරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් භඨකාර්ය සම්පාදන කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනය ශාස්ත්‍රපති උපාධියක් සහ ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබාගෙන ඇති අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජාතික වෙඩිපිටි නිලධාරි ආයතනයෙන් පලවන මට්ටමේ ජාතික වෙඩිපිටි නිලධාරීයෙකු ලෙස ද සුදුසුකම් සපුරාන ලදී.