ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් 11 වැනි මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය නිමාවෙන් පසු දිවයිනට

2025 නොවැම්බර් මස 10 දින සිට 22 දින දක්වා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ, බෙලගවි පිහිටි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී 11 වන වරට පවත්වන ලද මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය සාර්ථකව නිම කිරීමෙන් පසුව එයට සහභාගී වූ ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම 2025 නොවැම්බර් මස 22 දින නැවත දිවයිනට පැමිණියේය.

මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් 125 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් 10 දෙනෙකු ඇතුළත් විය. මෙම අභ්‍යාසය දෙරටේ හමුදා අතර සහයෝගීතාවය, සංස්කෘතික අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීමේ අවස්ථාවක් විය.

ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර RSP Hdmc psc ගේ නායකත්වය යටතේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණි භටපිරිස් පාබල අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩී.එස්. ජයවර්ධන RSP ndc, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ පවුලේ සාමාජිකයන් විසින් පිළිගන්නා ලදී.