ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සිය 74 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සිය 74 වන සංවත්සරය 2025 නොවැම්බර් මස 7 දින සිට 14 දින දක්වා පනාගොඩ, ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සහ මත්තේගොඩ, යුද්ධ හමුදා කඳවුරේදී අභිමානවත් අයුරින් සමරනු ලැබූ අතර, ඒ වෙනුවෙන් උත්සව මාලාවක් පවත්වනු ලැබීය.

සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එම බලකායේ සාමාජිකයින් විසින් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ ඉංජිනේරු බලකා රණවිරුවන් 655 දෙනෙකු වෙත උපහාර දක්වන ලදී.

සංවත්සර දිනය වෙනුවෙන් සම්ප්‍රදායික පෙරහැරක්, පිරිත් සජ්ජායනාවක් සහ දානමය පිංකමක් ඇතුළුව සංස්කෘතික හා ආගමික වැඩසටහන් කිහිපයක්ද සිදු කරන ලදී.

සංවත්සර දිනයේදී, ඉංජිනේරු බලකායේ බලකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලද අතර, පසුව බලකාධිපති විසින් භටපිරිස් ඇමතීම සිදුකරන ලදී. සැමරුම් උත්සවයට සමගාමීව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක්, නිලධාරි සුහද හමුවක්, බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ සියලු නිල සුහද හමුවක් ද පවත්වන ලදී.