යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් 3 වන කාර්තුව සඳහා ප්‍රගති සමාලෝචනය සිදුකරයි

අඛණ්ඩව සිදු කෙරෙන දූෂණ විරෝධී කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ 2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සඳහා වන සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ 3 වන කාර්තුව සඳහා පවත්වනු ලබන ප්‍රගති සමාලෝචන රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී 2025 නොවැම්බර් මස 11 වන දින පැවැත්විණි.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වූ අතර, එහිදී ලැබී තිබූ පැමිණිලි යුද්ධ හමුදාවේ විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා සුදුසු වන පරිදි සාරාංශ කර සමාලෝචනය කරන ලදී.

එසේම, දූෂණ විරෝධී කටයුතු ඇගයීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ආචාර ධර්ම පද්ධතිය බලාත්මක කිරීම සහ නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය යන අංශයන් විසින් ලබාගන්නා ලද ප්‍රගතීන් පිළිබඳව ද මෙහිදී අවධාරණය යොමු කරන ලදී.

එමෙන්ම, එළඹෙන දූෂණ විරෝධී දිනය ‘Institutional Integrity for a Transparent and Accountable Military Culture’ යන තේමාව ඔස්සේ පැවැත්වීමට මෙහිදී අවධානය යොමු කරනු ලැබීය. සදාචාරාත්මක හැසිරීම සහ යහපාලනය සඳහා යුද්ධ හමුදාවේ කැපවීම වෙනුවෙන් දිවයින පුරා ස්ථාපිත මෙම ඒකක විසින් දේශන, පෝස්ටර් සහ දැනුවත් කිරීමේ ප්‍රචාරක වැඩසටහන් පවත්වනු ලබයිි.