ජාතික ආරක්ෂක විද්‍යාලයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් දේශනයක් පවත්වයි

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ආරාධනාව මත ‘යුද්ධ හමුදාධිපති දේශනය’ “ජාතික ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යභාරය” යන තේමාව යටතේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 නොවැම්බර් මස 05 දින පවත්වන ලදී.

එම දේශනය මඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයුම් පරිසරය, උපායමාර්ගික පරිවර්තනය සහ අනාගත සූදානම යන සියලු කරුණු පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ලබාදෙන ලදී. එසේම ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය වෘත්තීය මෙන්ම වෙනස්වන තර්ජනයන්ට අනුවර්තනය විය හැකි අනාගතයට සූදානම් හමුදාවක් ගොඩනැගීම සඳහා යුද්ධ හමුදාව තුළ සිදුකරනු ලබන අඛණ්ඩ නවීකරණයන් මෙන්ම තාක්ෂණික ඒකාබද්ධතාවය සහ සංවිධානාත්මක පරිවර්තනය පිළිබඳව ද විස්තර කරන ලදී.

මෙම දේශනය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජාතික ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලා අංක 04 -2025 හදාරන ශිෂ්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද අතර, මෙම පාඨමාලාව යුද්ධ හමුදාවේ නිලධාරීන් 15 දෙනෙක්, නාවික හමුදාවේ නිලධාරීන් 07 දෙනෙක්, ගුවන් හමුදාවේ නිලධාරීන් 06 දෙනෙක්, පොලිස් නිලධාරීන් 03 දෙනෙක් සහ විදේශීය නිලධාරීන් 10 දෙනෙක් හදාරනු ලබයි.

මෙම දේශනය පැවැත්වීම සඳහා සහභගීවූ යුද්ධ හමුදාධිපතිතුමන්ව ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ WWV RWP RSP USP ndc psc IG MSc (NS & SS) විසින් පිළිගැනීමෙන් අනතුරුව ජාතික ආරක්ෂක විද්‍යාලයේ ලේකම් බ්‍රිගේඩියර් කේ.එම්.ජී. බණ්ඩාරනායක USP ndc psc විසින් මෙම වැඩසටහනේ ආරම්භක දේශනය පවත්වන ලදී.