ශ්‍රී ලංකා සාම සාධක භටපිරිස් ජාත්‍යන්තර සංස්කෘතික සහ ආහාර සැණකෙළිය සඳහා සහභාගී වෙයි

16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම 2025 ඔක්තෝබර් මස 23 දින නකූරා හි පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී ‘Flavours without Borders’යන තේමාව යටතේ පැවති ජාත්‍යන්තර සංස්කෘතික සහ ආහාර සැණකෙළිය සඳහා සහභාගී විය.

මෙම සැණකෙලිය තුළ පැවති විවිධ සාම්ප්‍රදායන්ට අදාළ ආහාර, සජිවී නර්තන සහ සංගීතමය වැඩසටහන් මඟින් ගෝලීය සංස්කෘතීන් ප්‍රදර්ශනය කළ අතර, එමඟින් විවිධ ජාතීන්ට අයත් සංස්කෘතීන් අත්විඳීමට සහ අගය කිරීමට සහභාගී වූවන්ට වටිනා අවස්ථාවක් හිමි විය.

මෙහිදී සාම සාධක රාජකාරි සඳහා සහභාගීව සිටින ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ සමාජිකයන් විසින් සාම්ප්‍රදායික ආහාර මෙන්ම සංගීතමය සහ නර්තන වැඩසටහන් ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකිය සංස්කෘතික උරුමයන් විදහා දැක්විය.

මෙම අවස්ථාවට ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් විශාල හමුදා භට පිරිස් සමඟ දූත මණ්ඩල ප්‍රධානි සහ බලඇණි අණදෙන නිලධාරීන් සහභාගී වූහ.