24th October 2025
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.ඒ.ඩී.එස්.කේ ධර්මසේන RWP ජ්‍යෙෂ්ඨ නිලධාරි හට 2025 ඔක්තෝබර් මස 24 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී. 2000 වර්ෂයේ හමුදා මෙහෙයුම් අතරතුරදී දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදාව තුළ කැපවීමෙන් සහ ධෛර්යෙන් සේවය කරමින් සියලු නිලයන්ට ආදර්ශයක් විය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
1991 මැයි මස 09 දින කෙඩෙට් නිලධාරි කෙටි කාලීන පාඨමාලා අංක 2 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් කේ.ඒ.ඩී.එස්.කේ ධර්මසේන RWP දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 ජුනි මස 06 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 නොවැම්බර් මස 01 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම යනු ලබයි.
විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී රැලි භාර නිලධාරි 3 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ඛණ්ඩ භාර නිලධාරි 1 බලඇණියේ ගජබා රෙජිමේන්තුව, ඛණ්ඩ භාර නිලධාරි 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රැලි භාර නිලධාරි ‘ඒ’ බලඝණය 3 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය,සන්නාහ සන්නද්ධ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු උපදේශක, රැලි භාර නිලධාරි ‘ඒ’ බලඝණය 5 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, සහකාර විධායක අධිකාරි 5 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, කාර්මික අධිකාරි 5 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, විධායක අධිකාරි 5 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, නිලධාරි අණදෙන ‘සී’ බලඝණය 5 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, නිලධාරි අණදෙන ආධාරක බලඝණය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, මාණ්ඩලික නිලධාරි 1 සන්නාහ සන්නද්ධ බලසේනාව වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ වික්‍රම පදක්කමෙන්ද පිදුම් ලබන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී දේශීය යාන්ත්‍රික ප්‍රවාහන නිලධාරීන්ගේ පාඨමාලාව සහ තරුණ නිලධාරීන්ගේ (සන්නාහ) පාඨමාලාව - පාකිස්ථානය යන පුහුණු පාඨමාලාවන් හදාරන ලදී.
මේජර් ජෙනරල් කේ.ඒ.ඩී.එස්.කේ ධර්මසේන RWP ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුදා මෙහෙයුම් අතරතුරදී සිදුවූ ප්‍රහාරයක් හේතුවෙන් දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වූ අතර ඒ පිළිබඳ අවබෝධයකින් යුතුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟ විවාහ දිවියට ඇතුලුවූ තරංගනී ධර්මසේන මහත්මිය විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ රාජකාරීන් මෙන්ම අනිකුත් කටයුතු සඳහා ආධාර වෙමින් සිදුකරනු ලැබූ මහත් කැපවීම සියලු කාන්තාවන්ට ආදර්ශයකි.