විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඩී.සී මහතන්තිල psc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 23 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් ඩී.සී මහතන්තිල psc 1991 දෙසැම්බර් මස 26 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා (ස්වේච්ඡා) අංක 05 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායට බඳවා ගන්නා ලදී. දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 ජුනි මස 06 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායට වෙත අනුයුක්ත කෙරිණි.

මේජර් ජෙනරල් ඩී.සී මහතන්තිල psc 1996 ජුනි මස 06 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැදීමෙන් පසුව සන්නද්ධ බුද්ධි බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි 28 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ඔක්තෝබර් 31 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති ධූරය හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, ඛණ්ඩ භාර නිලධාරි 6 පාබල බලසේනා මූලස්ථානය වැලිඔය, ඛණ්ඩ භාර නිලධාරි ශ්‍රී ලංකා හමුදා පුරෝගාමී බලකාය, බුද්ධි නිලධාරි 6 පාබල බලසේනා මූලස්ථානය යාපනය, 54 සහ 55 පාබල සේනාංකය මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරි, 1 රෙජිමේන්තු සන්නද්ධ බුද්ධි බලකායේ විධායක අධිකාරි, 11 සහ 22 පාබල සේනාංකය මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරි, සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරි, දෙවන අණදෙන නිලධාරි 2 රෙජිමේන්තුව සන්නද්ධ බුද්ධි බලකාය, හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ ස්ථායිතාවය ඇතිකිරීමේ මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරි, අණදෙන නිලධාරි 1 සහ 5 රෙජිමේන්තු සන්නද්ධ බුද්ධි බලකාය, ප්‍රංශයේ පැරිසි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රථම ආරක්‍ෂක උපදේශක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලය, ආරක්ෂක අමාත්‍යාංශයේ විදේශීය බුද්ධි සම්බන්ධීකාරක නිලධාරි, නියෝජ්‍ය සේනා විධායක සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, කර්නල් (බුද්ධි) බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි, බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, ව්‍යාපෘති භාර නිලධාරි ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, සේනාවිධායක යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ ආරක්‍ෂික සේනා මූලස්ථානය - වන්නි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී මූලික බුද්ධි පාඨමාලාව, විධායක අධිකාරි පාඨමාලාව, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්හි නිලධාරි උපදේශකයින් සඳහා වූ ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් නීති උපදේශක පාඨමාලාව, ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සන්නද්ධ හමුදා නිලධාරින් සඳහා මානව හිමිකම් උපදේශක පුහුණු පාඨමාලාව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ උසස් පුනරීක්‍ෂණ පුහුණු පාඨමාලාව, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් පවත්වන ලද සන්නද්ධ ගැටුම් නීතිය පිළිබඳ පාඨමාලාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව සහ රාජ්‍ය තාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාඨමාලාව වැනි දේශිය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී.

එමෙන්ම, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මූලික බුද්ධි පාඨමාලාව - බංග්ලාදේශය, මූලික බුද්ධි නිලධාරින්ගේ පාඨමාලාව - ඇමරිකා එක්සත් ජනපදය, හමුදා බුද්ධි කපිතාන්වරුන්ගේ වෘත්තීය පාඨමාලාව - ඇමරිකා එක්සත් ජනපදය, නියෝජිත මෙහෙයුම් සම්මුඛ පරීක්‍ෂණ කුසලතා පාඨමාලාව - ඕස්ට්‍රේලියාව සහ ජාත්‍යන්තර බුද්ධි අධ්‍යක්ෂවරුන්ගේ පාඨමාලාව - එක්සත් රාජධානිය ආදී විදේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී.

තවද, විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2009 වර්ෂයේදී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ආපදා කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව, කොළඹ විශ්ව විද්‍යාලයේ ගැටුම් හා සාම අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව සහ ගැටුම් හා සාම අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරන ලදී.