විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විශිෂ්ට සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc 1990 ජනවාරි මස 17 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 33 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බඳවා ගන්නා ලදී. දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1991 ජුනි මස 15 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කෙරිණි.

යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ඔක්තෝබර් මස 29 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරය හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 1 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 4 වන සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රුලි භාර නිලධාරි, 4 වන සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කාර්මික අධිකාරි, 4 වන සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි III, සන්නාහ සන්නද්ධ බලසේනා මූලස්ථානයේ කාර්මික අධිකාරි, යක්කල රණවිරු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කළමනාකරු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මාණ්ඩලික නිලධාරි II (අධ්‍යයන), ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ උපදේශක, යක්කල රණවිරු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කළමනාකරු, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මෙහෙයුම් - අතිරේක), සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (පුහුණු), යුද්ධ හමුදා පුහුණු අණසක බ්‍රිගේඩියර් (මූලධර්ම හා උපාය මාර්ග), ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ලේකම්, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක (යුද්ධ හමුදා), ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත වීර වික්‍රම විභූෂණ පදක්කම මෙන්ම රණ ශූර පදක්කම සහ උත්තම සේවා පදක්කම පිරිනමන ලදී.

තවද, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව සහ ජාතික ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව ඇතුළු දේශීය පාඨමාලාවන් මෙන්ම තරුණ නිලධාරි (සන්නාහ සන්නද්ධ) පාඨමාලාව - පාකිස්ථානය, සන්නද්ධ රථ උපදේශක නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, සටන් කණ්ඩායම් අණදෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, ආරක්‍ෂක උපදේශක පාඨමාලාව - ස්විට්සර්ලන්තය සහ නායකත්ව හා ජාත්‍යන්තර ආරක්‍ෂක පාඨමාලාව - ස්විට්සර්ලන්තය වැනි විදේශීය පුහුණු පාඨමාලා රැසක්ද හදාරන ලදී.

එසේම, විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් යුද්ධ හමුදා පාඨමාලාවන් මෙන්ම ශ්‍රී ලංකා ෆීනික්ස් ඇඳුම් තාක්‍ෂණ විද්‍යාලයෙන් ඇඳුම් නිෂ්පාදනය සහ තාක්‍ෂණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයෙන් වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික සහ ගෝලීය කටයුතු පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, කොළඹ විශ්ව විද්‍යාලයෙන් මානව සම්පත් පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව මෙන්ම මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සහ ස්විට්සර්ලන්තයේ ජිනීවා විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සහ යුරෝපීය ආරක්‍ෂාව පිළිබඳ උසස් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරන ලදී.