23rd October 2025
7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් 2025 ඔක්තෝබර් මස 19 දින සේරුනුවර, 215 F සුභසාධන ප්‍රජා මධ්‍යස්ථානයේදී ප්‍රදේශවාසීන් සඳහා පුපුරණ ද්‍රව්‍ය වල අවදානම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. සේරුනුවර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
පුපුරා නොගිය බිම්වෙඩි වලින් එල්ල වන අනතුරු පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සහ ප්‍රදේශයේ දක්නට ලැබෙන ඕනෑම සැක සහිත පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් කිරීම, හඳුනා ගැනීම සහ වහාම වාර්තා කිරීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විය. ඒ අනුව, එහිදී සහභාගිවූවන් වෙත විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය වලින් වන අනතුරු, ඒවායින් ආරක්‍ෂා වීමේ ක්‍රම සහ එවැනි සැක සහිත පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමක් සිදුවුවහොත් පළාත් පාලන ආයතන හෝ යුද්ධ හමුදාව දැනුවත් කිරීම සඳහා ගතයුතු නිවැරදි ක්‍රියා පටිපාටි පිළිබඳව දැනුවත් කරන ලදී.
පූනගර් බිම්බෝම්බ ඉවත් කිරීමේ ස්ථානයේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල නියැලී සිටින ඉංජිනේරු බලකා භටපිරිස් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලද අතර, එහිදී භටපිරිස් විසින් විවිධ ක්‍රියාකාරකම් ඉදිරිපත් කරමින් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරමින් සැබෑ සිදුවීම් ආදිය උදාහරණ වශයෙන් ඉදිරිපත් කිරීම සිදුකරන ලදී.