ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ නිල සංචාරයක*

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු කපිල ජයවීර මහතා 2025 ඔක්තෝබර් මස 03 දින ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී, එරට බලකායේ අණදෙන නිලධාරි සහ දූත ප්‍රධානි හමුවී සුහද කථා බහක නිරත විය.

මෙම සංචාරය තනාපතිතුමන් විසින් මෙරට ආරක්‍ෂක භට කණ්ඩායම 2025 ජූලි මස 04 දින රාජකාරි භාර ගැනීමෙන් පසු 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ කඳවුර ස්ථාපිත නකූරා ප්‍රදේශයේ සිදුකරනු ලැබූ පළමු නිල සංචාරය විය.

කඳවුර වෙත පැමිණි තානාපතිතුමන්ව 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරන ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා USP psc, අනෙකුත් නිලධාරින් සහ භටපිරිස් විසින් පිළිගන්නා ලදී.

මෙම සංචාරය අතරතුර, තානාපතිතුමන් විසින් භටපිරිස් අමතමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සේවය කරන සාම සාධක භටපිරිස් ලෙස ඔවුන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම අගය කරන ලදී. ඉන් අනතුරුව, තානාපතිතුමන්ට සහ පැමිණි නියෝජිත කණ්ඩායම වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.