76 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව රණවිරු අනුස්මරණ උත්සවය අභිමානවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසදී 2025 ඔක්තෝබර් මස 08 දින පැවැත්විණි.

මෙම රණවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැමිණීමෙන් අනතුරුව රණවිරු සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව, මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ මතකය නැවත ජීවමාන කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදීත් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මව්බිමේ එකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකිරීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්වූහ.