ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් වැඩසටහන් රැසක්

ලෝක ළමා දිනයට සමගාමීව, යුද්ධ හමුදාව විසින් විවිධ සුභසාධන සහ විනෝදාස්වාද වැඩසටහන් රැසක් පවත්වන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc ගේ උපදෙස් අනුව 51, 52 සහ 55 පාබල සේනාංකයන්හි සහභාගීත්වයෙන් ළමුන් සඳහා වැඩසටහන් මාලාවක් යාපනය ප්‍රදේශයේදී පවත්වනු ලැබීය.

එහිදී, 15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් කරුණාලයන් ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් සඳහා දමිළ චිත්‍රපටයක් නැරඹීමට අවස්ථාව ලබා දුන් අතර, එම චිත්‍රපටය අතරතුරදී දරුවන් වෙත සිසිල් පාන වර්ග ලබා දෙන ලදී.

එසේම, 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ප්‍රදේශයේ ළමුන් සිටින අඩු ආදායම් පවුල් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් 10 ක් පරිත්‍යාග කළ අතර, 512 පාබල බලසේනාවේ මඟ පෙන්වීම යටතේ 17 බලඇණිය ගැමුණු හේවා බලකායේ සහ 14 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පෙර පාසල් දරුවන් සඳහා තේ පැන් සංග්‍රහයක් පිරිනැමූ අතර, 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් වලෛයිසියාරි පෙර පාසලේ ළමුන් 17 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදෙන ලදී.

522 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් චැම්පියන් පත්තු සෙන්ට් පිල්ප්ස් මෙරිස් පෙර පාසලේ ළමුන් සඳහා පොත් පරිත්‍යාග කිරීමේ සහ දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් පැවැත්වීය. ඊට සමගාමීව, 11 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අරෝබන් ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් සඳහා ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී. 553 පාබල බලසේනාවේ භටපිරිස් ද මන්ති පෙර පාසලේ ළමුන් 17 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබා දුන්හ.

ලෝක ළමා දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් 2025 ඔක්තෝබර් මස 02 දින මත්තේගොඩ, කැමිලියා ළමා නිවාසයේදී විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. එහිදී එම ළමා නිවාසයේ නේවාසික ළමුන් 40 දෙනෙකු වෙනුවෙන් විනෝදාත්මක සංගීත ප්‍රසංගයක් පවත්වා දිවා භෝජන සංග්‍රහයක් සහ ත්‍යාග පිරිනමනු ලැබීය. මෙම වැඩසටහන සඳහා මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී RWP RSP USP ndc psc , ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

එසේම, ලෝක ළමා දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලකුඹුර RWP RSP ndu psc ගේ මඟ පෙන්වීම යටතේ, 243 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ දී වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එම වැඩසටහන අතරතුරදී සිසුන් විසින් විවිධ රංගනයන් සහ ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන ලද අතර පසුව, පාසල් පොත් පත් සහ පාසල් බෑග් ද දරුවන් අතර බෙදා දෙන ලදී. එහිදී, ගුරුවරුන්ගේ සේවය අගය කරමින් ද ත්‍යාග පිරිනමන ලදී. එදින එම සිසුන් මඩකලපුව, හැපි කිඩ්ස් ෆන් වර්ල්ඩ් විනෝදාස්වාද මධ්‍යස්ථානයේ විශේෂ සංචාරයක ද යෙදුනු අතර, එහිදී ඔවුන් විවිධ විනෝද ක්‍රියාකාරකම් වල නිරත වූහ.

මේ අතර, ලෝක ළමා දිනය සැමරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ උපදෙස් මත 212 පාබල බලසේනාවේ සහ 21 පාබල සේනාංකයේ අධීක්‍ෂණය යටතේ බල ප්‍රදේශයේ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය.

ඒ අනුව, 2025 සැප්තැම්බර් මස 29 දින සතුට ළමා නිවාසයේ ළමුන් 30 දෙනෙකු රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ට අධ්‍යාත්මික අත්දැකීමක් ලබා දෙන ලදී.

තවද, 2025 ඔක්තෝබර් මස 01 දින කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රසාද් ජයසේකර මහතාගේ මූල්‍යමය දායකත්වයෙන් අනුරාධපුර, තිබ්බටුවගම ප්‍රාථමික පාසලේ සිසුන් 47 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ තේ පැන් සංග්‍රහයක් පිරිනමන ලදී.

2025 ලෝක ළමා දිනයට සමගාමීව, 6 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් මට්ටක්කුලිය ‘මවු සෙවන’ ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් සඳහා සනීපාරක්‍ෂක සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ලෝක ළමා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් 2025 ඔක්තෝබර් මස 03 දින වැලිකන්ද, ලුම්බිණි ප්‍රාථමික පාසලේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී, සිසුන් 201 දෙනෙකු වෙත රෙදිපිලි සහ පාසලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කරනු ලැබූ අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්‍ෂතා දැක්වූ සිසුන් දෙදෙනෙකු වෙත ශිෂ්‍යත්ව දෙකක් ද ප්‍රදානය කරන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහභාගි වූහ.

එසේම, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනුෂානි කුලතුංග මහත්මිය සහභාගීත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් 2025 ඔක්තෝබර් මස 04 දින වවුනියාව, ඇටඹගස්කඩ ජාතික මිශ්‍ර පාසලේ ළමුන් 47 දෙනෙකු සඳහා පොත් පත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.