76 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයේ විශේෂ කිතුනු දේවමෙහෙයක්

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන සර්ව ආගමික ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු ඇන්ටන් රංජිත් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 01 දින කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයෙන් මෙම දේව මෙහෙයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගී විය.

ආගමික වතාවත් ආරම්භ කිරීමට ප්‍රථම, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් විසින් දේව මෙහෙයේ තේමාව සහ පිළිගැනීමේ කතාව පවත්වන ලදී. පසුව, දේව මෙහෙය ආරම්භයේදී බැප්ටිස්ට් ක්‍රිස්තියානි සභහවේ පූජක නිරෝෂන් ද මෙල් පියතුමන් විසින් රට වෙනුවෙන් කළ කැපවීම අගයමින් විශේෂ ආශිර්වාදයක් එක්කරන ලදී.

මෙම අවස්ථාවට ක්‍රිස්තියානි පූජකවරුන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී විජේසේකර RSP ctf-ndu USACGSC, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.