යුද්ධ හමුදා 76 වන සංවත්සරය සැමරීමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් අභිමන්සල - 1 සුවතා නිකේතනයේ සංචාරයක

එළඹෙන 76 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා 2025 සැප්තැම්බර් 26 දින අනුරාධපුරයේ පිහිටි ‘අභිමන්සල - 1’ සුවතා නිකේතනය වෙත සංචාරයක නිරත විය.

එහිදී පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc සහ ‘අභිමන්සල - 1’ සුවතා නිකේතනයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් බී.ඒ.පී ලියනගේ RWP RSP USP සමඟින් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ සම්භාවනීය අමුත්තන් ඇතුළු රණක්ෂිතයට පත් රණවිරුවන් සමඟ දිවා ආහාරය සඳහා එක් වූහ. පසුව, එතුමන් එහි නේවාසිකව සිටින රණවිරුවන් හට සහ ඔවුන්ගේ භාරකරුවන් හට තෑගි පාර්සල් පිරිනමනු ලැබීය.

මෙම සංචාරය අවසානයේදී ‘අභිමන්සල - 1’ හි සේනාවිධායක විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව, එතුමන් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තැබීමෙන් පසුව, සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.